අධිකරණ භුමියේ සිදුවීම ගැන පැහැදිලි කිරීමක්

ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

by Staff writer 13-10-2025 | 6:16 AM

COLOMBO (News 1st) - ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදුව නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වෙමින් ඇති බවයි.

අධිකරණ භූමිය තුළ නීතිඥවරයාගේ වාහනය සහ බන්ධනාගාර බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුගිය 10 වනදා මෙම පහරදීම සිදුවිය.

ඊට අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මෙම සිදුවීම පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

අදාළ සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම නීතිඥවරයා ලබා ගත් යැයි පැවසෙන දුරකතන ඇමතුමක් පිළිබඳවත් එම නිවේදනයේ කරුණු පැහැදිලි කර තිබෙනවා.

උපුටා ගැනීම..

මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් "ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ..." "ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී ....." "ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න...." යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත

එමගින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතී. නමුත් මෙම සිදුවීමට අදාලව එම නීතිඥවරයා  සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැත.

උපුටා ගැනීම අවසන්..

මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති බවත් කිසිඳු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැති බවත් නිවේදනයේ දැක්වෙයි.

නමුත් එම නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු බව පොලීසිය පවසයි.

නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ සිද්ධියත් සමග ගල්කිස්ස අධිකරණ භූමියේ යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතු වලට බාධා සිදුව ඇති බවයි.

එමෙන්ම, මෙම සිදුවීම පාදක කරගෙන අධිකරණයේ කටයුතුවල නිරත නීතිඥවරුන්ගේ ද යම් විරෝධයක් පවත්වා ඇති බවත් පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් නිවේදනයේ සඳහන් ය.

එහි දී පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවීමට නියමිතයි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් අද දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් පොලීසිය පිළිබඳව මාධ්‍ය තුළ ප්‍රචාරය වන කරුණු පිළිබඳව විශේෂ අවදානයක් යොමුකර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද පොලිස් කොමිසම සඳහන් කළේ ය.