බිලියනපති රොනාල්ඩෝ...

බිලියනපති රොනාල්ඩෝ...

by Haindu Gihan 13-10-2025 | 4:30 PM

COLOMBO (News 1st) - දුප්පත් පවුලක කාන්තාවක්, තමන්ගේ වෛද්‍යවරයා හම්බවෙන්න යන්නේ, මේ වෙද්දි තමන්ගේ කුස තුළ වර්ධනය වෙන දරුවව ගබ්සා කරන්න හිතාගෙන.

නමුත් මේ තීරණයට ඇගේ වෛද්‍යවරයාගෙන් එල්ල වෙන විරෝධය නිසාම, ඒ දරුවව හදා ගන්න ඇය තීරණය කරනවා.

1985 පෙබරවාරි පස් වැනිදා පෘතුගාලයේ මැඩේරා නුවරදි, පුංචි ක්‍රිස්ටියානෝ උපදින්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක, සිව්වැනි දරුවා විදිහට.

නමුත් මේ දරුවා යම් දවසක, ලෝකයේ පළමුවැනි බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙයි කියලා, ඇය හීනෙන්වත් නොහිතන්නට ඇති.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩොස් සැන්ටෝස් අවේරෝ, මේ තමයි ඔහුගේ සම්පූර්ණ නම.

පසුගියදා පළවුණු බ්ලූම්බර්ග් වාර්තාවට අනුව, වර්තමානය වන විට රොනාල්ඩෝ සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.4ක්.

ඒ කියන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ අමෙරිකානු ඩොලර් බිලියනයක වත්කම් ඉපැයූ ලෝකේ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.

සාර්ථක පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට රොනාල්ඩෝ අද ඉන්න තැනට ආවේ සුන්දර ගමන් මාර්ගයක නම් නෙවෙයි.

රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවට අත්පොත් තබන්නේ පුංචි කාලයේදීමයි.

තමන්ගේ ගමේ වීදි පුරා පාපන්දුවෙන් සෙල්ලම් දාපු රොනාල්ඩෝ, සමවයස් දරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් වුණා.

අවුරුදු 12ක් සපිරෙනකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ උපන් ගම අත හැරලා, පෘතුගාලයේ අගනගරය වුණු ලිස්බන් නුවරට එන්නේ, පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තිබ්බ ආසාව නිසාමයි.

පවුලෙන් වෙන්වෙලා ජීවත් වෙන එක පුංචි රෝනාල්ඩෝට ලේසි පහසු දෙයක් වුණේ නම් නෑ.

තමන්ගේ පාසල් ගමනට තිත තියලා, සම්පූර්ණ කාලයම පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් යොදවන්න මොහු තීරණය කරන්නේ යාන්තමින් අවුරුදු 14ක් සම්පූර්ණ වෙනකොට.

මේ අතරදී අසාමාන්‍ය හෘද ස්පන්දන වේගයක් නිසා,  රොනාල්ඩෝ පීඩා විඳින්න ගත්තේ, ඔහුගේ පාපන්දු ජීවිතය ගැන ප්‍රශ්නාර්තයක් ඇති කරමින්.

කොහොම වුණත් සාර්ථක සැත්කමකින් පස්සේ, රොනාල්ඩෝගේ රෝගි තත්ත්වය සුවකරගන්න වෛද්‍යවරුන්ට හැකි වෙනවා.

මේ අභියෝග එකින් එක ජයගන්න සමත් වෙන රොනාල්ඩෝ ආධුනික ක්‍රීඩකයෙක් විදිහට පාපන්දු පිටිය තුළ තමන්ගේ නම තියන්නේ, අතිසාර්ථක තරග වාර කිහිපයක්ම පසු කරමින්.

ලෝක ප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග රෝනාල්ඩෝ පළමු වරට ගිවිසුම් ගත වෙන්නේ, පවුම් මිලියන 12.4කට.

මේ දක්ශතා නිසාම 18 වැනි වියේ දී පෘතුගාල ජාතික කණ්ඩායම සමග එක්වන ඔහුට, 24 වැනි වියේදී  පෘතුගාල කණ්ඩායමේ නායකත්වයද පැමිණෙන්න හැකි වෙනවා.

පාපන්දු පිටිය තුළ රොනාල්ඩෝ කියන්නේ දක්ෂ නායකයෙක්, ඒ වගේම අතිදක්ෂ ගෝල වාර්තා කරන්නෙක්.

ජාත්‍යන්තර පිටියේ වැඩිම ගෝල ලාභියා ලෙස අදටත්  සඳහන් වෙන්නේ ඔහුගේ නම.

වසරේ දක්ශතකම ක්‍රීඩකයාට හිමි බැලන්ඩිනෝ සම්මාන 5ක් හිමිකරගෙන ඇති රොනාල්ඩෝ යුරෝපානු   චැම්පියන් කුසලාන 5ක් දිනාගත් කණ්ඩායමක සාමාජිකයෙකු වීමද විශේෂත්වයක්.

ඒ බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් හා ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම නියෝජනය කරමින්.

2023 වසරේදී රොනාල්ඩෝ සවුදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග එක්වෙන්නේ ,වසරක අමෙරිකානු ඩොලර් මිලියන 200ක කොන්ත්‍රාත් පදනමට .

2025 වසරෙදි ඔහු තම ගිවිසුම අලුත් කරන්නේ ඩොලර් මිලියන 400කට.

ක්‍රීඩාව තුළදි විතරක් නෙවෙයි, CR7 සන්නාමය ව්‍යාපාර ලෝකය තුළදී පාඩු ලබපු සන්නාමයක් නෙවෙයි.

ලෝකයේ වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයින් අතර රොනාල්ඩෝ ඉදිරියෙන්ම සිටියත්, ඔහු අදටත් තමන්ගේ පුහුණු වීම් වෙනුවෙන් වෙන් කරපු කාලය අතපසු කරන්නේ නෑ.

කොපමණ දක්ෂයෙක් වුණත් , සාර්ථක ක්‍රීඩකයෙක් වුණත්, ඔහු අදටත් වැඩි වෙලාවක් වෙන් කරන්නේ තමන්ගේ පුහුණුවීම් වෙනුවෙන්.

ඒ තමයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.

ඉතිං බිලියනපති රොනාල්ඩෝ, මුළු ලෝකයටම අදටත් ඔප්පු කරන්නේ කැපවීම,විනය සහ උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා.