අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

26-01-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

by Staff writer 13-01-2026 | 2:57 PM

COLOMBO(News1st) - 
2026-01-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ පහත පරිදි වේ.

සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ නැංවීම

- වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිල දී ගෙන තිබේ. ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එම නිර්දේශය මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට 130/- දක්වා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වා ඉහළ නැංවීමටත් තීරණය කරනු ලැබ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.


සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් සංවර්ධනය කිරීම

- සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීමේ විභවතාවක් පවතින බව හඳුනාගෙන ඇත. ඒ අනුව, තෝරා ගනු ලබන ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් හඳුනාගැනීම පිණිස නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා සහ ඒ අනුව සුදුසුකම් ලබන ආයෝජකයින් වෙතින් ව්‍යාපෘති යෝජනා කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ධීවර හා ජලජීවි වගා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

- ධීවර කර්මාන්තයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාහැරීමේ සහ ධීවර හා ජලජීවී වගාව තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති අතර කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව එය වරින්වර යාවත්කාලීන කර තිබේ. එහෙත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා පියවර ගෙන නොමැත. වත්මන් රජයේ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව රජයේ ආර්ථික හා සංවර්ධන අරමුණු සමඟ සමපාත වන සේ ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නැවත කෙටුම්පත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ. ඒ අනුව, ධීවර හා ජලජීවි වගා ජාතික ප්‍රතිපත්තිය අනෙකුත් අදාළ ප්‍රතිපත්තිවලට ඒකාබද්ධ කොට ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීම

- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන් යටතේ පවතින ඌන උපයෝජිත ඉඩම්/දේපළ අතරින් පළමු අදියර යටතේ හඳුනාගනු ලැබූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ, 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි සුදුසු ආයෝජකයන් වෙත බැහැර කිරීම පිණිස මේ වන විට කටයුතු කරමින් පවතී. එකී පළමු අදියරට ඇතුළත් නොවූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ අදාළ ආයතන යටතේ තවදුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව, පහත සඳහන් ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

දෙවන අදියර යටතේ හඳුනාගනු ලැබ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම්/දේපළ.
තේ ශක්ති අරමුදලට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි හෙක්ටයාර 40.48ක මාවරල වත්ත ඉඩම හා තේ කර්මාන්තශාලාව.
ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් භුක්ති විදිනු ලබන කොන්ඩච්චි වතුයායේ හෙක්ටයාර 1,541ක ඌන උපයෝජිත ඉඩම.


මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹිම

- මුලතිව් දිස්ත්‍රික්කයේ මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාව වෙත සේවා සපයන ප්‍රධාන සෞඛ්‍ය සත්කාර ආයතනය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වේ. එම රෝහල නේවාසික ප්‍රතිකාර සේවාවන් සපයන විශේෂඥ ඒකක 8කින් සමන්විත වන අතර, එහි මුළු ඇඳන් ධාරිතාව 195කි. ‍අඩු රෝගී පිරිවැයක් සහිත ව ඉහළ ගුණාත්මක බවකින් යුතු අඛණ්ඩ සත්කාර සේවාවක් සැපයීම පිණිස තෘතීයික සත්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වන ප්‍රධාන රෝහල් වැඩි දියුණු කිරීම පිණිස ගනු ලබන පියවර යටතේ, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. එම මූල්‍ය ප්‍රදානය යොදා ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- Resolve to Save Lives ආයතනය විසින් එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන ලද ඇමෙරිකානු ඩොලර් 304,795ක ප්‍රදානයක් යොදා ගනිමින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය තුළ අධි රුධිර පීඩනය වැළැක්වීම සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන බහුවිධ මැදිහත්වීම’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2021 සිට 2024 දක්වා කාලය තුළ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් කළුතර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කොට තිබේ. අදාළ ව්‍යාපෘතියේ ධනාත්මක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන, එම ව්‍යාපෘතිය ගාල්ල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුළ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ සඳහා ව්‍යාපෘතියෙහි මුල් අදියරයන්හි ඉතිරිව පවතින අරමුදල් සහ අතිරේක මූල්‍ය ප්‍රදානයන් ද සමඟ Resolve to Save Lives ආයතනය විසින් ලබා දෙනු ලබන ඇමෙරිකානු ඩොලර් 242,125ක මුළු මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානයක් යටතේ ‘ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීම’ ව්‍යාපෘතිය වශයෙන් නම් කරමින් ගාල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් තුළ ද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස Resolve to Save Lives ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම

- විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව විදුලිබල විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති විධිවිධානවලට අනුකූලව මූලික පැවරීමේ සැලැස්ම සකස් කරනු ලැබ තිබේ. විදුලිබලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම සහ සැපයීම ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු පැවරීමට අදාළ සියලු තොරතුරු සහ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අනුප්‍රාප්තික සමාගම්වලට අවශ්‍ය වන වත්කම් සහ බැරකම් පැවරීම සඳහා වන මූල්‍ය සැලැස්ම එම මූලික පැවරීමේ සැලැස්ම තුළ අන්තර්ගත වී ඇත. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති මූලික පැවරීමේ සැලැස්ම සඳහාත්, එම මූලික පැවරීමේ සැලැස්මට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම්, බැරකම්, කාර්යය, කර්තව්‍ය සහ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුප්‍රාප්තික සමාගම් වෙත පැවරීම සඳහාත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


රජයේ ආයතනවල ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම

- රජයේ ආයතනවල ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමේදී පොදු ගොඩනැගිලි ගාස්තු උපලේඛනයක් පදනම් කර ගැනීම මඟින් මුළු පිරිවැය ඇස්තමේන්තුවල ඒකමිතිකභාවයක් පවත්වා ගැනීමට හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇති අතර, 2024-07-23 දින පැවති රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමේදී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ 'ගොඩනැගිලි ගාස්තු උපලේඛනය' ඒ සඳහා පදනම වශයෙන් භාවිත කිරීමට හැකි වන පරිදි නෛතික වලංගුභාවයක් ලබා දීම යෝග්‍ය බවට නිර්දේශ කර ඇත. ඒ අනුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන 'ගොඩනැගිලි ගාස්තු උපලේඛනය' මධ්‍යම රජයට අයත් සියලු ආයතන විසින් ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමේදී පදනම ලෙස භාවිත කිරීම පිණිස අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීම

- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 'ජලය සහ තිරසර සංවර්ධනය' තේමාව යටතේ වන වාර්ෂික සම්මන්ත්‍රණයට සමගාමීව ජාත්‍යන්තර ජල සංගමයේ 'ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය - 2026' මෙරට දී පැවැත්වීම පිණිස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. එම සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා ජල ක්ෂේත්‍රයට සම්බන්ධ ශාස්ත්‍රීය, කර්මාන්ත, රජයේ නියාමන ආයතනවල සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රමුඛ ගෝලීය විශේෂඥයින් සහභාගි වීමට නියමිතව තිබේ. එමඟින් ආරක්ෂිත සහ තිරසර පානීය ජලය සැපයීමට කැප වී සිටින පාර්ශ්වකරුවන් අතර සංවාදය සහ සහයෝගිතාව වර්ධනය කිරීමට අවස්ථාව උදා වනු ඇති අතර එමඟින් අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කෙරෙනු ඇත. ඒ අනුව, ලෝක ජල දිනයට සමගාමීව 2026 මාර්තු මස 23 දින සිට මාර්තු මස 25 දින දක්වා රත්මලානේ පිහිටි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේදී ලෝක ජල සංගමයේ 'ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය - 2026' පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීම

- අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000/-ක දීමනාවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමටත් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන, එහෙත් දීමනාව හිමි විය යුතු දිවයින පුරා පිහිටි, සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි හා පැවිදි සිසුන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6,000/-ක දීමනාවක් ‌අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමටත් 2025 වර්ෂය තුළදී පියවර ගනු ලැබ ඇත. එම වැඩසටහන 2026 වර්ෂය තුළ ද ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ සිවිල්, දුම්රිය සහ සේවා යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය සඳහා උපදේශන සේවා ලබා ගැනීම පිණිස සුදුසු ආයතන තෝරා ගැනීම

- ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ එක්ව ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග සහ දුම්රිය මාර්ග යටිතල පහසුකම්, මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් ක්‍රියාවලියක නිරතව සිටී. ඒ සඳහා වන සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීම, ඉදිකිරීම් අධීක්ෂණය වැනි කාර්යයන් සඳහා දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වෘත්තීමය කාර්යමණ්ඩලයන් ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රමාදයන් සිදු වන බව නිරීක්ෂණය වී ඇත. ඊට පිළියමක් වශයෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම් සහිත උපදේශන සේවා ආයතන වසර 02ක කාලයක් සඳහා ලියාපදිංචි කර ගැනීමටත්, එලෙස ලියාපදිංචි කර ගනු ලබන උපදේශන සේවා ආයතන අතරින් තරගකාරී පදනම මත මිල ගණන් කැඳවා සේවා අවශ්‍යතාව මත එක් එක් කාර්යය වෙනුවෙන් සේවාවන් සලසා ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අබලි ලෝහ බැහැර කිරීම

- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 11දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අයිතම කිහිපයකට අදාළ අබලි ලෝහ බැහැර කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඊට අමතරව, තවත් අබලි ලෝහ ද්‍රව්‍ය අයිතමයන් 04ක් සම්බන්ධයෙන් සරානුකූලව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිල ඉදිරිපත් කර තිබූ M/s. S R Steel (Pvt) Ltd. සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එකඟ වී ඇති මිළ ගණන් මත පදනම්ව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු‌ව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී අබලි ලෝහ ද්‍රව්‍ය අයිතමයන් රුපියල් මිලියන 114.51ක මුදලකට M/s. S R Steel (Pvt) Ltd. වෙත බැහැර කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම

- මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. අලුතින් වෙන් කර ඇති ස්ථානවල මුදල් මාරු කිරීමේ කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ වන විට පැවති කොන්ත්‍රාත් ගිවිසුම් අත්හිටුවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත. ඉන් අනතුරුව, පැමිණීමේ පර්යන්තයේ අලුතින් වෙන් කරනු ලබන ප්‍රදේශයක වසර 03ක කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත/බලය පවරා ඇති ආයතනවලින් සීමිත තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලැබී ඇති ලංසු 05ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව පහත සඳහන් පරිදි වසර 03ක කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු පවත්වාගෙන යාමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

කවුළු අංක 04 - රුපියල් මිලියන 972.77 + අදාළ බදු සමඟ වූ මුදලකට Commercial Bank of Ceylon PLC වෙත.
කවුළු අංක 05 - රුපියල් මිලියන 877.14 + අදාළ බදු සමඟ වූ මුදලකට Bank of Ceylon වෙත.
කවුළු අංක 06 - රුපියල් මිලියන 720.79 + අදාළ බදු සමඟ වූ මුදලකට Thomas Cook Lanka (Pvt) Limited වෙත.
කවුළු අංක 07 - රුපියල් මිලියන 646.64 + අදාළ බදු සමඟ වූ මුදලකට Sampath Bank PLC වෙත.
කවුළු අංක 08 - රුපියල් මිලියන 631.61 + අදාළ බදු සමඟ වූ මුදලකට People's Bank වෙත.


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008‑2023 කාලසීමාවට අදාළව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීම

- වෛද්‍ය සැපයීම් අංශය විසින් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අවශ්‍ය ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගෙන ගබඩා කර බෙදාහැරීම සිදු කරනු ලැබේ. එම මිල දී ගැනීම් සඳහා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වාර්ෂිකව ඖෂධ සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන මඟින් 2023-12-31 දින දක්වා ගෙවීම් සිදු කරනු ලැබ ඇති නමුත්, 2008 සිට 2023 දක්වා කාලසීමාවට අදාළව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත තවදුරටත් නිරවුල් කළ යුතු රුපියල් බිලියන 32.92ක මුදලක් පවතින බවට එම සංස්ථාව විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබේ. 2026 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණ පැන නැගී ඇති අතර, එහිදී ලබා දෙන ලද උපදෙස් අනුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් නිරවුල් කළ යුතුව පවතින ගෙවීම් පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත. ඒ අනුව, 2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා රුපියල් බිලියන 23.87ක් ගෙවිය යුතු බවට තහවුරු වී ඇත. එසේම, 2008-01-01 දින සිට 2017-12-31 දින දක්වා නිරවුල් කළ යුතු මුදල තවදුරටත් ගණනය කරමින් පවතී. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා වන කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 23.87ක මුදල මෙම වර්ෂය තුළ අදියරගතව ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.


රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් නිර්‌දේශ කරන ලද පහත සඳහන් බඳවාගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

අනු අංකය    අමාත්‍යාංශ/පළාත් සභා/ කොමිෂන් සභා    බඳවාගැනීම් සඳහා කමිටුව විසින් නිර්දේශ කරන ලද තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව

1.    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය    442
2.    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය    452
3.    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය    705
4.    කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය    10
5.    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය    37
6.    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය    76
7.    ආරක්ෂක අමාත්‍යාංශය    102
8.    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය    19
9.    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය    10
10.    වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය    01
11.    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය    166
12.    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය    167
13.    නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය    33
14.    ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය    50
15.    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය    23
16.    වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය    248
17.    මධ්‍යම පළාත් සභාව    203
18.    උතුරු මැද පළාත් සභාව    06
19.    ජාතික පොලිස් කොමිෂන් සභාව    01
20.    ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා ගුරුවරු    23,344


මුළු සංඛ්‍යාව    26,095


රජයේ නිලධරයන් සඳහා ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීම

- රජයේ නිලධරයන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට හැකියාව පවතී. එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අය කර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත. එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/-ක් දක්වා වැඩි කර ලබා දීමට 2026 අයවැය මඟින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ නිලධරයන්ට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදය හඳුන්වා දීම

- රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එමඟින්, ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත. මේ වන විට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව වාහන සඳහා ඩිජිටල් කාඩ්පත් මඟින් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. ඒ අනුව, ප්‍රථමකොට, නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම

- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා 2025-05-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අදාළ සංශෝධන පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.