එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ වත්මන් තත්ත්වය...

එක්ස්ප්‍රස් පර්ල් නෞකා නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ අන්තර්ගත කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි.

by Staff writer 27-01-2026 | 9:30 AM

COLOMBO(News1st) - කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් නියෝග ලබාගෙන ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙන අතර අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, නෞකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

ඊට අමතරව සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම යටතේ මෙම සිද්ධියට අදාලව සිංගප්පූරුවේ පැවැත්වෙන බේරුම්කරන ක්‍රියාවලියක් සඳහා නොතීසි ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකරන බවත් සඳහන් කළේය.

මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා සෑම පියවරක් ගැනම අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග මත පමණක්  ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජනවාරි මස 23 වනදා වන විට අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අදාළ සමාගම විසින් ගෙවා තිබිය යුතු වුවත් ඔවුන් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 250ක් පමණක් යැයි පෙන්වා දුන් නීතිඥවරයා ඒ හරහා ඔවුන් අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් චෝදනා කළේය.

ඒ අනුව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු සතු වත්කම් සහ දේපළ ගැන ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ අන්තර්ගත කරුණු අධිකරණය අනුමත කරන බවයි.

ඒ අනුව, අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාග කටයුතු අවසන් කිරීමට තීන්දු කළේය.