මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..

වසර 50කට පමණ පසු මිනිසුන් සඳ බලා රැගෙන යනArtemis II මෙහෙයුම සාර්ථකව ඇරඹේ..

by Staff writer 02-04-2026 | 9:02 AM

COLOMBO (News 1st) - වසර 50කට පමණ පසු පළමු වරට මිනිසුන් රැගෙන සඳ බලා ගමන් කෙරෙන රොකට් යානය අද(02) සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණි.

ඒ 2017 වසරේදී අමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ ආටෙමිස් මෙහෙයුමේ තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබමින්.

අද(02) මෙරට වේලාවෙන් අළුයම 4ට පමණ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි, "තර්ටි නයින් - බී" දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගගනගාමීන් 4 දෙනෙකු රැගත් "SLS හෙවත් ස්පේස් ලෝන්ච් සිස්ටම්" රොකට් යානය සාර්ථකව අභ්‍යවකාශගත කෙරු අතර

නාසා ඉතිහාසයේ නිර්මාණය කර ඇති ප්‍රභලතම අභ්‍යවකාශ යානය වන SLS රොකට්ටුව අඩි 322ක උසකින් යුක්තයි.

එහි හරයේ ඇත්තේ දැවැන්ත ඉන්ධන ටැංකියක් වන අතර එහි ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් ලීටර් මිලියන තුනකට වඩා ගබඩා කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

දින 10ක මෙහෙයුම අතරතුරදී, අදාළ රොකට් යානයේ කොටසක් වන "ඔරායන්" නමැති කැප්සියුලය, සඳේ කක්ෂය වටා ගමන් කිරීමට නියමිතයි.

එම කාලය තුළ ගගනගාමීන් රැදී සිටින්නේ අඩි 15ක දිගින් සහ,අඩි 9ක් උසකින් යුතු "ඔරායන් කෘ මොඩියුල්" කොටසේයි.

කිලෝමීටර 70,000ක් පමණ ඉහල අහසේදී SLS රොකට් යානයෙන් "ඔරායන්" කැප්සියුලය වෙන් වේ.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටීනා කෝක් සහ ජෙරමි හැන්සන් යන Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය වසර දෙකක කාලයක් මෙම මෙහෙයුම සඳහා පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සූදානම් වූ බව නාසා ආයතනය පවසයි.

මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ "රීඩ් වයිස්මන්".

ඔහු වසර 27ක කාලයක් ඇමරිකානු නාවික හමුදාවේ සේවය කළ අයෙක් වන අතර 2009 වසරේදී ගගනගාමියෙකු ලෙසින් නාසා ආයතනය සමග එක්ව තිබේ.

"වික්ටර් ග්ලෝවර්" Artemis II මෙහෙයුමේ නියමුවා ලෙසින් කටයුතු කරන අතර ඔහු මීට පෙර ස්පේස් එක්ස් යානයකද නියමුවෙකු ලෙස කටයුතු කර ඇතැයි වාර්තා වේ.

"ක්‍රිස්ටීනා කෝක්" 2019 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කර ඇති අතර ඇය කාන්තාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන සඳහා වාර්තාවක්ද පිහිටුවා තිබේ.

ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන "ජෙරමි හැන්සන්" කැනේඩියානු ජාතිකයෙක්. ඒ අනුව ඔහු සඳ බලා යන පළමු කැනේඩියානු ජාතිකයා බවට පත්වේ.

අද(02) යානය දියත් කිරීමට පෙර එහි පද්ධතියේ ගැටලු දෙකක් වාර්තා වුවද එය මෙහෙයුමට බාධාවක් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Artemis II මෙහෙයුමේ සාර්ථකත්වය මත Artemis III මෙහෙයුම හරහා 2027 වසරේදී මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ මතට ගොඩබැස්වීමට බලාපොරොත්තු වන බවත්, Artemis IV මෙහෙයුම හරහා 2028 වසරේදී මිනිසුන් යළි සඳ මත පා තබනු ඇති බවත් නාසා ආයතනය පවසයි.

2022 වසරේදී දින 25ක Artemis I මෙහෙයුම හරහා ඔරායන් කැප්සියුලය මිනිසුන් නොමැතිව සඳ වටා ගමන් කළේ ය.

Artemis III මෙහෙයුම සඳහා ඊලෝන් මසක්ගේ "ස්පේස් එක්ස්" සමාගමේ රොකට් යානයක් හෝ ජෙෆ් බේසොස්ගේ "බ්ලු ඔරිජින්" සමාගමේ රොකට් යානයක් භාවිත කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

මීට පෙර සඳ මෙහෙයුම් දියත් කෙරුණු ඇමරිකාවේ "ඇපලෝ වැඩසටහන" 1972 වසරේදී අත්හැර දැමීමට සිදුවූයේ අධික වියදම් හේතුවෙනි.

මේ අතර ටෘත් සෝෂල් සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගගනගමීන්ට සුභ පැතුම් එක්කර තිබේ.

ඇමරිකාව පෘථිවියේ සහ අභ්‍යවකාශයේ, ආර්ථිකමය මෙන්ම මිලිටරිමය වශයෙන් ජය ගන්නා බවත් වෙනත් කිසිවෙකුටත් ඊට ළංවිය නොහැකි බවත්, ඇමරිකාවේ ආධිපත්‍ය දැරීම මුළු ලෝකයකම බලා සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.