දිට්වා විපතින් පීඩිත මහනුවරට ජනපතිගෙන් සහන..

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීම හා වන්දි ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ.

by Staff writer 06-02-2026 | 8:59 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීම හා ආපදා වන්දි ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද මහනුවරදී ඇරඹේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකර දීම හා වන්දි ප්‍රදානය කිරීමේ කටයුතු අද(06) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. ඒ සඳහා වන පළමු උත්සවය කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා නව නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීම එහිදි සිදු කෙරේ.

මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට වන්දි පිරිනැමීමද එහිදි සිදුවේ.

දිට්වා සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණවලට හානි සිදු වූ පුද්ගලයන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් මෙහිදී ලබා දීමට නියමිතයි. කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ වශයෙන් භේදයකින් තොරව ලියාපදිංචි කර ඇති සියලු ව්‍යාපාර සඳහා මෙම මූල්‍ය ප්‍රදානය සිදු කෙරේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ නිවාස හානි වූ සහ නායයෑම් අධි අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම අද පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා සහභාගී වේ.

මේ අතර, මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ දිගු කලක් නතර වී තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.