අකුරේගොඩ වෙඩි තැබීමේ මෝටර් රථය...

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සැකකරුවන් පැමිණි බවට සැක කරන මෝටර් රථය, බද්දේගමදී ගිනි ගනිමින් තිබීයදී සොයා ගැනේ....

by Staff writer 15-02-2026 | 8:35 AM

COLOMBO (News1st) - ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී ගිනි ගනිමින් තිබූ මෝටර් රථයක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එය අකුරේගොඩ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කෙරෙන බවයි.

තලංගම, අකුරේගොඩදී වෙඩි තබා නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය, කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි, පොලිසීය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 10 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාසය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ කණ්ඩායම් ද ඒ අතර වේ.

පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නඩු සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥයෙකු බවයි.

පෙරේදා (13) පස්වරු හතරයි පනහට පමණ අකුරගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලේදී සිදුවූ වෙඩි තැබීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්විය.

පොලිසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් අතර සිටි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ඝාතනයට ලක්වූ 44 හැවිරිදි නීතිඥයා හා ඔහුගේ 42 හැවිරිදි බිරිඳ  අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.