.webp)
-610845.jpg)
දශක හයකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටුකළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර එතුමන්ට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ එතුමන්ගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු විය.
මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
" මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. ඔබට මේ තරම් සමීපව උපහාර පුදකරන්නට මට මගේ ජීවිතයේ මෙවන් අවස්ථාවක් ලැබෙයි කියා මම කවදාවත්ම හිතුවෙ නෑ. ඉතින් මේ මොහොත ඉතාමත් සතුටුදායක, සුවිශේෂී ඓතිහාසික මොහොතක්.
වසර හැටකට වැඩි කාලයක් ඔබතුමා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්. අපේ රටේ වැඩිම වරක් වේදිකාගත වූ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය වන ඔබතුමාගේ 'ස' ප්‍රසංගය තමයි මගේ ළමා කාලයේ දී නැරඹුව පළවෙනි ප්‍රසංගය.
මට සිංහල භාෂාවේ ගැන ආශාව ඇතිකළේ ඔබේ ගීත. "කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න", "සඟවා ගනු මැන සොඳුරිය" වැනි ඔබ ගැයූ ගීත ආදරය පිළිබඳ සියුම් ,අපූර්ව ඉදිරිපත්කිරීම් ගෙනදැක්වූවා. සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනමම ලෝකයකට රැගෙන යා හැකි බව මම තේරුම්ගත්තේ මේ ගීතවලින්.
ඒ වගේම ඒ ගීත තුළ ගැබ් වූ සංහිඳියාව පිළිබඳ සංකල්ප අපි කතා කළ යුතු ම දෙයක්. 'සරුංගලේ' චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ " ඔබ යන ගමනේ මාවත අහුරා" වැනි ගීතවල සංගීත යෝජනය සහ ගායනය තුළ ඉතා ස්වාභාවික ලෙස අපට විවිධ සංස්කෘතීන්ගේ අපූර්වත්වය කියා දුන්නා.
සැබැවින්ම අපි රටක් ලෙස ඉතා වාසනවාන්ත වෙනවා ඔබ වැනි ඉතා වටිනා ත්‍යාගයක් අපට ලැබීම පිළිබඳව.
ජීවිතවල සෑම විශේෂ මොහොතක්ම වික්ටර් රතනායකයන්ගේ නිර්මාණ සමඟ බැඳී පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
එමෙන්ම පසුගිය පෙබරවාරි 18 වැනි දා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය මෙවන් උළෙලක් සංවිධානය කිරීම සමබ්න්ධව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත විය. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තරඟකාරිත්වය හමුවේ ගුවන්විදුලි සංස්ථාවට අභියෝග රැසක් පැවතුණද සියල්ල ජයගනිමින් ඉදිරියට යාමේ ශක්තිය ගුවන්විදුලි සංස්ථාව වෙත පවතින බව තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසීය.
මෙරට කලා ක්ෂේත්‍රයේ ජීවමාන විශිෂ්ටයන් අගයමින් ගුවන්විදුලි සංස්ථාව සිදුකරන වැඩසටහන් අග්‍රාමාත්‍යතුම්යගේ විෂේශ ඇගයීමකට ද ලක් විය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න , ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්වරුන්, ආචාර්ය වික්ටර් රත්නායක ශුරීන්ගේ පවුලේ ඥාතීන්, රසිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.
