.webp)
-610863.jpg)
COLOMBO (News1st) - මානුෂීය මෙහෙවර සහ අධ්‍යාත්මික මගපෙන්වීම සංකේතවත් කරමින්, ගම්මැද්ද කණ්ඩායම අද (24) මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක “Care & Dare” ජාතික පුනර්ජීවන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කළහ. එහිදී වැඩසටහනේ පළමු සහ දෙවන අදියරයන්හි සාර්ථකත්වය විස්තර කළ ගම්මැද්ද කණ්ඩායම, තෙවන අදියර ආරම්භ කිරීම සඳහා උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්හ.
අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදුටු නියෝජිත පිරිස, “Care & Dare” වැඩසටහන මගින් ක්ෂණික සහන සැලසීමේ සිට ක්‍රමවත්ව ජන ජීවිත යළි නැගිටවීමේ ක්‍රියාවලිය දක්වාත්, එතැන් සිට දිගුකාලීන නැවත ගොඩනැගීමේ අදියර දක්වාත් පරිවර්තනය වී ඇති ආකාරය පැහැදිලි කළහ.
මෙහිදී අදහස් දැක්වූ ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල් මහතා සඳහන් කළේ, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක දායකත්වයක් ලබාදෙමින් ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනම (Minderoo Foundation) සමග පවතින ජාත්‍යන්තර සහයෝගීතාවය සහ එමගින් දිවයිනේ පීඩාවට පත් දිස්ත්‍රික්කවල සහන කඳවුරු ශක්තිමත් කිරීමට ලැබුණු පිටුවහල පිළිබඳව මහානායක හිමිවරුන් දැනුවත් කළ බවයි.
මෙම ප්‍රයත්නයේ පවතින අවංකභාවය සහ එහි විශාලත්වය අගය කළ මහානායක ස්වාමීන් වහන්සේලා දෙපළම, අසරණ ජනතාව වෙනුවෙන් සිදුකරන මෙම සේවාව අගය කරමින් තෙවන අදියරේ සාර්ථකත්වය වෙනුවෙන් ආශිර්වාද කළහ.
මීට අමතරව, ගම්මැද්ද කණ්ඩායම දෙපාර්ශවයේම අනුනායක ස්වාමීන් වහන්සේලා ද බැහැදැක වැඩසටහනේ ඉදිරි ගමන්මග පිළිබඳව පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය.
“Care & Dare” වැඩසටහන දැන් නැවත ගොඩනැගීමේ (Rebuilding) අදියරට පිවිස ඇත. ජාතික පුනර්ජීවනය යනු හුදෙක් යටිතල පහසුකම් සහ ආධාර පමණක් නොව, එය සදාචාරාත්මක නායකත්වය, එකමුතුකම සහ පොදු අරමුණක් වටා පෙළගැසීමක් බව අද දින පැවති මෙම හමුවීම් සිහිපත් කර දෙයි. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව, මෙම මීළඟ පරිච්ඡේදය ආරම්භ වන්නේ හුදෙක් සම්පත්වලින් පමණක් නොව, නොසැලෙන අධිෂ්ඨානයෙනි.
