මේ වනවිට මැද පෙරදිග තත්ත්වය

මේ වනවිට මැද පෙරදිග තත්ත්වය

by Staff writer 02-03-2026 | 10:57 PM

COLOMBO(News1st) - මැද පෙරදිග තත්ත්වය මෙතක් සමථයකට පත්ව නැහැ! අදත් විටින් විට දෙපාර්ශවය අතර ගැටුම්..

ඇමරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ මියගිය පිරිස 550 ඉක්මවා තිබේ.

ඒ පසුගිය 28 වැනිදා සිට පවතින යුදමය වතාවරණය හමුවේයි.

එම ප්‍රහාරවලින් ඉරානයේ නගර 131ක් බලපෑමට ලක්ව ඇති බව ඉරානයේ රතු කුරුස සංවිධානය පවසයි.

එල්ලවන ප්‍රහාර හමුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ රෝගී සත්කාර සේවා සඳහා රට පුරා ලක්ෂයකට අධික පිරිසක් සූදානමින් සිටින බවද එම සංවිධානය පවසයි.

ඉරානයේ අන්තර්ජාල සේවා අවහිර කර මේ වන විට පැය 48ක්.

මේ අතර,, ඉරානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් අහමදි-නිජාඩ් මියගොස් තිබේ.

ඒ, ඊසානදිග ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරයකින්.

ඊශ්‍රායලයට සම්බන්ධ කටයුතු මෙහෙයවීම සඳහා ඉරානයේ පිහිටුවා ඇති බුද්ධි අමාත්‍යංශයේ, නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් යාහියා හමීඩි ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන බුද්ධි අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු වූ ලාල් පෝර් හොසේන් ඇතුළු තවත් රජයේ නිලධාරීන් පිරිසක් ද ඝාතනය කළ බවයි.

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ද අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් හානි සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සඳහා වූ ඉරාන තානාපති පවසයි.

මෙවැනි පසුබිමක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් නියම කර ඇති වගකීම් ඉටු කරන ලෙසයි.

අමෙරිකාව සහ ඊශ්‍රායල එක්ව, ඉරානයේ උත්තරීතර නායක අල් කමේනි ඝාතනය කරමින් සිදුකර ඇත්තේ, බියගුළු ත්‍රස්ත ක්‍රියාවක් බව ද ලිපියේ සඳහන්.

එවැනි පසුබිමක ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලැරිජානි පවසන්නේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට අවතීර්ණ වීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය.

ඒ ඉරානයේ උත්තරීතර නායකයාගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන්, සිය යුතුකම් ඉටුකරන බවට හිස්බුල්ලා සංවිධානය ඊයේ ප්‍රතිඥාා දෙමින්.

ඊට ප්‍රතිචාර ලෙස අද ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ඔවුන් පවසන්නේ, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඉලක්ක කරගනිමින්,, බේරුට් අගනුවරට ද ප්‍රහාර එල්ල කළ බවයි.

ප්‍රහාර හමුවේ පුද්ගලයින් 32නෙකු මියගිය අතර තුවාල ලැබූ පිරිස 150කට ආසන්නයි.

මේ අතර, ලෙබනනයේ හිස්බුල්ලා ප්‍රධානී නයිම් කසෙම් මේ වන විට ඊශ්‍රායල හමුදාවේ ඝාතන ඉලක්කයක් වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි.

ඔහු හිස්බුල්ලා ප්‍රධානී ලෙස පත්වුණේ පසුගිය සැප්තැම්බර් 27 වන දින ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානි හසන් නස්රල්ලා ඝාතනය කිරීමෙන් පසුවයි.

දකුණු ලෙබනනයේ ගම්මාන 53ක වැසියන්ට වහාම සිය නිවෙස්වලින් ඉවත් වන ලෙසද ඊශ්‍රායල හමුදා අනතුරු අඟවා තිබේ.

එම අනතුරු ඇඟවීම් හමුවේ මේ වනවිට ලෙබනන වැසියන් දහස් ගණනක් සිය නිවෙස් අත්හැර පලා යමින් ඇති බවත් අගනුවර වීදි රැසක දැඩි මාර්ග තදබදයක් වාර්තා වන බවත් විදෙස් වාර්තා වල සඳහන්.

මෙවැනි පසුබිමක ඊශ්‍රායලයේ කොටස් වෙළඳපොල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

මේ අතර කුවේට්, බහරේන්, කටාර්, ඉරාක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඇතැම් ප්‍රදේශ වල අදත් ප්‍රහාර වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ, කුවේට් රාජ්‍යයේ අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ දුම් වලාවක් නිරීක්ෂණය වන බවයි.

මේ අතර කුවේට් ඉහල අහසේදී එෆ් ෆිෆ්ටීන් වර්ගයේ ජෙට් යානයක් අනතුරට පත්ව ඇතැයි සැක කෙරෙන බව CNN පුවත් සේවය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති වීඩියෝ පට විශ්ලේෂණය කරමින් CNN පුවත් සේවය පවසන්නේ,, අමෙරිකාවේ අලි අල් සලෙම් හමුදා කඳවුරට කිලෝමීටර 10ක් පමණ දුරින් අදාල ජෙට් යානය අනතුරට ලක්ව ඇති බවයි.

නියමුවන් දිවි ගලවාගෙන ඇති බවද කුවේට් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මේ අතර සයිප්‍රස් රාජ්‍යයේ පිහිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරකටද අද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

සයිප්‍රස් ජනාධිපතිවරයා පැවසුවේ එය ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් බව සහ ඒ හේතුවෙන් එහි සිටි පිරිස් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර මැද පෙරදිග තත්වය හේතුවෙන් ජාත්‍යන්තරයේ රටවල් ගණනාවක් විවිධ පියවර ගනිමින් සිටී.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පැවසුවේ අමෙරිකාවේ ඉල්ලීමක් මත මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ අවි ගබඩා විනාශ කිරීමට අවශ්‍ය ආරක්ෂක මෙහෙයුම් වෙනුවෙන්, බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු අමෙරිකාවට විවෘත කරන බවයි.

අවශ්‍යතාවයක් මතු වුවහොත්, ඉරානයට එරෙහිව "ආරක්ෂක ක්‍රියාමාර්ග" ගැනීමට සූදානම් බව, ප්‍රංශ, ජර්මානු සහ බ්‍රිතාන්‍ය නායකයින් පවසයි.

කෙසේ නමුත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉල්ලා සිටියේ සාකච්ඡාවක් හරහා මීට විසඳුමක් සොයාගෙන සටන් විරාමයක් වෙත යොමු වන ලෙසයි.

ඉරානයේ වෙසෙන චීන පුරවැසියන් 3000ක් පමණ මේ වන විට ඔවුන් ඉවත් කරගෙන තිබේ.