අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීම ඉරානය නවත්වයි

අසල්වැසි රටවලට නැවත ප්‍රහාර එල්ල නොකරන බවට ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්...

by Staff writer 07-03-2026 | 3:00 PM

COLOMBO(News1st) - අසල්වැසි රටවලට නැවත ප්‍රහාර එල්ල නොකරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉරාන අන්තර්වාර නායකත්ව මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.

සතුරු රටක් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන තෙක් ප්‍රති ප්‍රහාරයක්  එල්ල නොකරන බවට අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය එකඟ වූ බව ඉරාන ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළේය.

එමෙන්ම පසුගිය දින කිහිපයේ  අසල්වැසි රටවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමා එම රටවලින්  සමාව අයැද සිටින බව ඔහු පැවසුවේය.

පසුගිය පෙබරවාරි 28 වනදා සිට දින කිහිපයක්  ඉරානය විසින් බහරේනය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සහ කටාර් වැනි රටවල පිහිටි ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාර හමුවේ  අසල්වැසි රටවල සිවිල් වැසියන්ට සහ දේපළවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ද ඉරාන ජනාධිපතිවරයා කණගාටුව පළ කර ඇතැයි  විදෙස් වාර්තාවල සඳහන්.