පොදු ප්‍රවාහන පෞද්ගලික සේවකයන්ටත් ETF

පොදු ප්‍රවාහන පෞද්ගලික සේවකයන්ටත් ETF

by Staff writer 12-03-2026 | 7:48 AM

COLOMBO(News1st) - මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු, පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන්ද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හෙවත් ETF මණ්ඩලයෙහි ප්‍රතිලාභ ලබා දීමේ නව වැඩපිළිවෙළක් රජය මගින් ආරම්භ කර තිබේ.

ඒ පොදු ප්‍රවාහන සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින්ය.

ඒ අනුව සීමා වී තිබූ සුබසාධන අනුග්‍රහයන්, මින් ඉදිරියට පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ සහ කුලී රථ ඇතුළු රාජ්‍ය නොවන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු සේවකයන්ට ද හිමිවනු ඇති.

මෙම සේවක කණ්ඩායම් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට අදාළ නීතිමය රාමුව මේ වනවිට සකස් කර තිබේ.

ඒ නාගරික සංවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් අනුවයි.

මීට අදාළ නිල අවබෝධතා ගිවිසුම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අතර ඊයේ(12) මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අත්සන් කෙරුණි. ​