දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පළාත් 6 කට තද වැසි, දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Staff writer 12-05-2026 | 7:31 AM

COLOMBO(News1st) - උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද(12) මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම ඊට හේතුවී ඇති බවයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට හා අඹන්ගඟ කෝරලේ, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හා බඩල්කුඹුර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙළ, රත්නපුර හා කළවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 16ක් මේ වනවිට වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්මේන්තුව පැවසුවේ, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 09ක් වාන් දමමින් ඇති බවයි.

කලාවැවේ වාන් දොරටු අඛණ්ඩව 04 වැනි දිනටත් අද විවෘත කර තිබුණි.

ජලාශ භාර කාර්යභාර්ය ඉන්ජිනේරු බුද්ධික නවරත්න පැවසුවේ, කලා ඔය දෙපස ජනතාව අවදානයෙන් සිටිය යුතු බවයි.

කලාවැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග රාජාගනය ජලාශය ද තවදුරටත් වාන් දමමින් පවතී.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ පස්වරුව වනතෙක් වාන් දොරටු 08ක් විවෘත කර තිබූ අතර පසුව එය 10ක් දක්වා වැඩි කළ බවයි.

මේ අතර පවතින වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.