.webp)

ජනප්‍රිය TikTok සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ඡෑං යිමින්ග් (Zhang Yiming), ඉන්දීය ප්‍රකෝටිපති මුකේෂ් අම්බානි (Mukesh Ambani) අභිබවා ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaires Index) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ටික්ටොක්හි මව් සමාගම වන 'බයිට්ඩාන්ස්' (ByteDance) හි වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම වෙනස් වීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
ඡෑං යිමින්ග් (චීනය): ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 92.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඔහු ආසියාවේ දෙවැනි ධනවතා මෙන්ම චීනයේ පළමු ධනවත්ම පුද්ගලයා ලෙසද තේරී පත්ව ඇත.
මුකේෂ් අම්බානි (ඉන්දියාව): මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මුකේෂ් අම්බානිගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 86.9 ක් ලෙස සටහන් වන අතර ඔහු ආසියාවේ තෙවැනි ධනවතා දක්වා පහළ බැස තිබේ.
ගෞතම් අදානි (ඉන්දියාව): ඇමරිකානු ඩොලර් බිලියන 117.4 ක වත්කමකට හිමිකම් කියන ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි තවදුරටත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රථම ස්ථානය රැකගෙන සිටී.
බයිට්ඩාන්ස් (ByteDance) සමාගම කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය සහ චීනය තුළ ඔවුන් හඳුන්වා දුන් 'ඩුබාඕ' (Doubao) AI චැට්බොට් මෘදුකාංගයේ සාර්ථකත්වය මෙලෙස වත්කම් ඉහළ යාමට මූලික වී ඇත. ඩුබාඕ මෘදුකාංගය මේ වන විට මාසිකව මිලියන 300කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් භාවිතා කරනු ලබයි.
මීට අමතරව, ඇමරිකානු ආයෝජකයින් වෙත සිය ව්‍යාපාරික කොටස් කිහිපයක් සාර්ථකව පැවරීමට කටයුතු කිරීම නිසා, ඇමරිකාව තුළ ටික්ටොක් තහනම සම්බන්ධයෙන් පැවති නීතිමය අවදානම ලිහිල් වීම ද සමාගමේ වටිනාකම තවදුරටත් ස්ථාවර කිරීමට දායක වී තිබේ.
බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙන්නේ, 2019 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 13ක වත්කමකට හිමිකම් කියූ ඡෑං යිමින්ග්ගේ වත්කම ගතවූ වසර කිහිපය තුළ හත් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි.
