ඉරානය වට්ටන, ට්‍රම්ප්ගේ අලුත්ම මෙහෙයුම...

ඉරානය වට්ටන ට්‍රම්ප්ගේ "විනාශකාරීම ආර්ථික මෙහෙයුම" !

by Staff writer 20-08-2026 | 9:36 AM

COLOMBO (News 1st) - ඉරානය ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් නව මෙහෙයුමක් දියත් කර තිබේ.

අද (20) අලුයම ටෘත් පණිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ලොව ඕනෑම රටකට එරෙහිව මෙතෙක් දියත්කර ඇති "විනාශකාරීම ආර්ථික මෙහෙයුම" තමන් ඉරානයට එරෙහිව ආරම්භ කරන බවයි.

එකඟතාවයකට පැමිණීමට තමන් ඉරානයට ඕනෑ තරම් අවස්ථා ලබාදුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ඉරානය අපොහොසත් වූ බව ට්‍රම්ප් පවසයි.

ඉරානයේ නාවික සහ ගුවන් හමුදා සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව යළි අවධාරණය කරන ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරාන මුදල් ඒකකයද දැන් බිඳ වැටී ඇති බවයි.

මේ අතර ඉරානයට ආර්ථිකමය සහය ලබාදෙන විදෙස් රටවලටද ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

මූල්‍ය ආයතන, ව්‍යාපාර, ගුවන් තොටුපළ හෝ රජයේ ආයතන හරහා ඉරානයට සහය වීමට ඉඩ දෙන ඕනෑම රටක් බරපතල ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බව, ට්‍රම්ප්ගේ පණිවුඩයේ සඳහන්.

ඉන්ධන ජාවාරම්, මුදල් හුවමාරු, නෞකා ලියාපදිංචි කිරීම්, සහ ව්‍යාජ සමාගම් නිර්මාණය කරමින් ඉරානයට උපකාර කරන සියලු පාර්ශව එම කටයුතු නවතා දැමිය යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක පණිවුඩයේ දැක්වේ.

ඉරානය හුදකලා කිරීමට සහ පරාජය කිරීමට ඇමරිකාවේ සියලුම මිත්‍ර රටවලට එක්වන්නැයි තමන් ඉල්ලා සිටින බවත්, සිය ආර්ථික විනාශකාරී මෙහෙයුම හරහා ලොව පුරා භීෂණය පැතිරවීමට ඉරානයට ඇති හැකියාව අඩපණ වනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සිය පණිවුඩය අවසන් කර ඇත්තේ ඉරානය කිසිදිනෙක න්‍යෂ්ටික අවියක් හිමි නොවන බව අවධාරණය කරමිනි.