.webp)

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70 ක් හඳුනා ගෙන ඇති බවයි.
බියගම, මාතර සහ රත්නපුර මහනගර සභා බල ප්‍රදේශ,කඩුවෙල,මහරගම,පිළියන්දල සහ මොරටුව වැඩිම ඩෙංගු අවධානමක් ඇති බල ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය.
මෙම තත්ත්තවය හේතුවෙන් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉතාම විමසිලිමත් විය යුතු බවද, ඔහු සඳහන් කළේ ය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්, 41,925 ක් වාර්තා වේ.
අදාළ කාලසීමාවේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව, 24 ක්.
ඉදිරි මාසය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ය.
මේ අතර දීප ව්‍යාප්ත ක්‍රියාත්මක විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය අදයි.
ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි.
සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව, අමාත්‍ය චන්දන අබේරත්න පැවසීය.
