10 වන ABU මාධ්‍ය සමුළුව භූතානයේදී ඇරඹෙයි: Newsfirst ‘Digital-First’ උපායමාර්ගය ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමට…

by Janitha Mendis 17-06-2026 | 11:36 AM

COLOMBO(News1st) - පාරෝ නුවර (භූතානය) දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, ආපදා වැළැක්වීම සහ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා කෙරෙන "10 වන ABU මාධ්‍ය සමුළුව සහ AI සංසදය" (10th ABU Media Summit on Climate Action & Disaster Prevention & ABU AI Forum) ජූනි 16 වනදා භූතානයේ පාරෝ නුවර Dungkar Dzong පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය.

2026 ජූනි 16 වනදා සිට ජූනි 18 වනදා දක්වා දින තුනක් පුරා පැවැත්වෙන මෙම සුවිශේෂී සමුළුව සඳහා ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටිති.

සමුළුවේ සමාරම්භක සැසියේදී සත්කාරක විකාශකයා වන භූතාන විකාශන සේවයේ (BBS) ප්‍රධාන විධායක නිලධාරී ඩෝර්ජි ටෂි (Dorji Tashi) මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. ඉන් අනතුරුව, ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහලේකම් අහමඩ් නදීම් (Ahmed Nadeem) මහතා සහ භූතාන රාජකීය රජයේ කර්මාන්ත, වාණිජ හා රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම් දාෂෝ ටෂි වැන්ග්මෝ (Dasho Tashi Wangmo) මහත්මිය විශේෂ දේශන පවත්වමින් සමුළුව අමතනු ලැබූහ.

Newsfirst ශ්‍රී ලාංකීය අත්දැකීම් ජාත්‍යන්තර වේදිකාවට…
මෙවර සමුළුවේ අතිශය තීරණාත්මක විද්වත් සාකච්ඡාවක් වූ "Media Saving Lives: Lessons from the Asia-Pacific" (මාධ්‍ය මගින් ජීවිත සුරැකීම: ආසියා-පැසිෆික් කලාපයෙන් උගත් පාඩම්) සැසිය සඳහා ශ්‍රී ලංකාව සහ මහරාජා මාධ්‍ය ජාලය (Maharaja Media Network) නියෝජනය කරමින් Newsfirst නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනිත මෙන්ඩිස් මහතා විශේෂ ආරාධිත කථිකයෙකු ලෙස එක් විය.

එහිදී අදහස් දැක්වූ ජනිත මෙන්ඩිස් මහතා, Newsfirst ආයතනය සතු 'Digital-first' Newsroom (ඩිජිටල් ප්‍රමුඛ පුවත් කාමර) උපායමාර්ගය ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දීර්ඝ වශයෙන් විග්‍රහ කළේය.

විශේෂයෙන්ම, දිවයිනේ ඇති වූ දැඩි අර්බුදකාරී සහ ආපදා අවස්ථාවන්හිදී, සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍ය (TV News) සහ ඩිජිටල් යටිතල පහසුකම් එකිනෙක ඒකාබද්ධ කරමින්, ක්ෂණික (real-time) සන්නිවේදනයක් ඔස්සේ Newsfirst කණ්ඩායම එම තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කර මහජන ජීවිත සුරක්ෂිත කිරීමට දායක වූ ආකාරය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කළේය. සාම්ප්‍රදායික විකාශකයෙකුගෙන් ඔබ්බට යමින් ආපදා කළමනාකරණයේදී සහ සහන සේවා සැපයීමේදී Newsfirst සතු ප්‍රායෝගික ක්‍රමවේදයන් මෙහිදී ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමට ලක් විය.