එල්නිනෝ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණයක්.

එල්නිනෝ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණයක්.... මෝසම් වැස්සත් අඩු වෙයි.

by Staff writer 04-07-2026 | 7:44 PM

COLOMBO(News1st) - එල්නිනෝ තත්වයේ බලපෑමෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වියළි කාලගුණික තත්වයක් වාර්තා වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සදහන් කළේ,  නිරිත දිග මෝසම් වැස්ස ද අඩුවී ඇති බවයි.

එල්නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑමෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වියළි කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම් වැසි ද මේ වන විට අඩුවී ඇති බවයි. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාසයේදී දිවයින පුරා වියළි කාලගුණයක් පැවතිය හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී අධික වැසි ඇති විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවයි. කෙසේ වෙතත්, එල්නිනෝ බලපෑම හේතුවෙන් ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී දිවයින පුරා වියළි කාලගුණයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

පැසිෆික් සාගර කලාපයේ හටගෙන ඇති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණික අනාවැකි පළ කරන ආයතන නිකුත් කරන පුරෝකථන පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරමින්, මෙරටට ගැලපෙන කාලගුණික අනාවැකි නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් අවදානමට ලක්විය හැකි ක්ෂේත්‍රවල වගකීම් උසුලන අමාත්‍යාංශ ප්‍රධානීන් සමඟ ඊයේ දිනයේදී සාකච්ඡා කළ බවයි.

එහිදී අදාළ ක්ෂේත්‍රවලට සිදුවන බලපෑම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සැලසුම්, එම ප්‍රධානීන් විසින් අනු කමිටුව වෙත භාර දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම සැලසුම් අධ්‍යයනය කර, එල්නිනෝ බලපෑමට මුහුණ දීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එල්නිනෝ බලපෑමෙන් මෙරට කාලගුණයට සිදුවන බලපෑම පිළිබඳ නවතම පුරෝකථන අනිද්දා ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.