හෝමාගම කම්හලේ පරිසර බලපත්‍රය යල්පැන ගිහින්

ගින්නෙන් විනාශ වූ හෝමාගම හෙල්මට් කම්හලේ පරිසර බලපත්‍රය යල්පැන ගිහින්.. - මධ්‍යම පරිසර අධිකාරිය

by Staff writer 22-07-2026 | 8:55 AM

COLOMBO(News1st) - පස් දෙනෙකුට මරු කැඳවමින් ගින්නෙන් විනාශ වූ හෝමාගම, කටුවාන ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය දීර්ඝ කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ , 2023 වසරේ ලබා දුන් පරිසර බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ ගිනි ආරක්ෂණ වැඩපිලිවෙල ඇතුළු එහි ආරක්ෂිත පරිසරය ස්ථාපිත කිරීම සඳහා  අනුගමනය කරන පිළිවෙත් පිළිබඳ වාර්තා සැපයීමට එහි හිමිකාරිත්වය අසමත් වී ඇති බවයි.

ඒ හේතුවෙන් පසුගිය දෙවැනිදා ලිපියක් මගින් පරිසර බලපත්‍රය දීර්ඝ නොකරන බවත් එය යළි ලබා ගැනීමට නම් අදාළ ලිපි ලේඛන දින 20 ක් ඇතුළත මධ්‍යම පරිසර අධිකාරියට ලබාදෙන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ ය.

කර්මාන්ත ශාලාවේ ගින්න වාර්තා වූ විගස ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රෙද්ශයේ පරිසර නිලධාරීයා ඇතුළු පිරිසක් යොමු කර තිබේ.

ඒ ගින්නෙන් අවට පරිසරයට යම් අන්තරයාකර රසායන ද්‍රව්‍යක් මුසුවේදැයි විමර්ශනය සඳහායි.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ ගින්නෙන් අනතුරුව ඉතිරිව ඇති රසායාන ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම සඳහාද උපදෙස් ලබා දෙන බවයි.

එය සමීපව අධීක්ෂණය කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර කර්මාන්ත ශාලාවේ ගින්නෙන් මියගිය පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ලැබුවේ ය

මහල් තුනකින් යුත් කර්මාන්ත ශාලාවක තුන්වැනි මහලේ ඊයේ පෙරවරු 9.30 ට පමණ එම ගින්න හටගත්තේ ය.

පොලිසිය පවසන්නේ විදුලි පංකාවක ඇතිවූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැකකරන බවයි.

කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා කෝට්ටේ මහ නගර සභාවල ගිනි නිවන ඒකක හා හොරණ නගර සභාවේ ගිනි නිවීම් සේවා රථ 10 කට අධික සංඛ්‍යාවක් යොදා ගනමින් ගින්න මැඩපවත්වනු ලැබුවේ ය.

ඒ සඳහා ගුවන් හමුදාවේ, යුද හමුදාවේ සහ පොලීසියේ ද සහය හිමිවිය

එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ 80 කට අධික සේවකයින් පිරිසක් සේවයේ නිරතව සිට තිබේ.

පොලිසිය පැවසුටව් ගින්න සම්බන්ධයෙන් තවදුරටත් පුළුල්  පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.