ග්‍රීසියේ හෙලිකොප්ටර් අනතුරකින් දෙදෙනෙක් මරුට...

ග්‍රීසියේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී සිදුවූ අනතුරකින්, පුද්ගලයින් දෙදෙනෙකු මරුට...

by Staff writer 03-08-2026 | 8:10 AM

COLOMBO (News 1st) - ග්‍රීසියේ පැතිරී යන ලැව් ගිනි පාලනය කරමින් සිටි හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් යානයක ගමන් ගත් ඩෙන්මාක ජාතික ගුවන් නියමුවෙකු සහ ග්‍රීක ගිනි නිවන භටයෙකු මියගොස් ඇති බවයි.

අනෙක් යානයේ සිටි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකු සහ ග්‍රීක සහන සේවකයෙකු දිවි බේරාගෙන ඇත.

ඇතැන්ස් අගනුවරට කිලෝමීටර 65ක් පමණ දුරින් එලෙස අනතුරට ලක්ව ඇත්තේ, බෙල් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකි.

ගෙවුණු පැය 72ක පමණ කාලයක සිට ග්‍රීසියේ පැතිරී යන දැවැන්ත ලැව් ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 500 දෙනෙකු පමණ යොදවා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

මේ වන විට ග්‍රීසියේ නිවාස 100ක් පමණ ගිනිගෙන විනාශ වී ඇත.

යුරෝපයේ දැඩි උෂ්ණාධික කාලගුණයක් ඇති පසුබිමක පසුගියදා ප්‍රංශයේ සහ ස්පාඤඤයේද ඇතිවූ දැවැන්ත ලැව් ගිනි හේතුවෙන් භූමි හෙක්ටයාර ලක්ෂයක් පමණ දැනට විනාශ වී ඇති බවද, විදෙස් වාර්තාවල සඳහන්.