ප්‍රදේශ රැසකට අදත් තද වැසි සහ සුළං,මුහුදත් රළුවෙයි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි, කළු හා කැලණි ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහලට.

by Staff writer 04-08-2026 | 7:31 AM

COLOMBO(News1st) - කැලණි හා කළු ගඟේ ජල මට තවදුරටත් ඉහල යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කැලණිගඟේ ජල මට්ටම හංවැල්ල ප්‍රදේශයෙන් ඉහල යමින් පවතින බවයි.

කැලණි ගඟේ ග්ලේන්කෝස් ප්‍රදේශයේ පැවැති සුළු ගංවතුර අවදානම මේ වන විට පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කළු ගඟේ ජල මට්ටම කලවැල්ලාව ප්‍රදේශයෙන් ඉහල යමින් පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පැවැති සුළු ගංවතුර අවදානම පහව යමින් ඇති බවයි.

මහවැලි ගඟේ පේරාදෙණිය ආශ්‍රිතව පැවති අවධානයෙන් සිටිය යුතු තත්ත්වයේ  ජල මට්ටමද පහල යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පවතින අධික වැසි හමුවේ පවුල් 769ක අයත් පුද්ගලයින් 2,971 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ආපදාවලින් පීඩාවට පත් වු පුද්ගලයින් මුදා ගැනිම සඳහා  කණ්ඩායම් 11ක් යාත්‍රා සමග යොදවා ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ, ඊට අමතරව තවත් කණ්ඩායම් 171ක් අවශ්‍ය වුවහොත් පිටත් කර යැවිම සඳහා සූදානම් කර තිබෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ ය.

පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ තවදුරටත් පවතින දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පනවා ඇති ධීවර තහනම අඛණ්ඩව ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සදහන් කළේ ය.

ඔහු පැවසුවේ පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වලකින ලෙස කුඩා හා එක්දින ධීවර යාත්‍රාවලට දැනුම් දෙන බවයි.

පවතින අධික වැසි හමුවේ මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් පැන වූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්  ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය,  කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා එලෙස නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්ප යන ප්‍රදේශ සඳහා අවදානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් තවදුරටත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලට මෙන්ම මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ, කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ සබරගමුව සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි ඇති විය හැකියි.

ඉදිරි දිනවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බවද මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.