මුහුදු ප්‍රදේශ රළුවෙයි, ධීවරයින්ට දැනුම්දීමක්.

මුහුදු ප්‍රදේශ රළුවෙයි, ධීවරයින්ට දැනුම්දීමක්.

by Staff writer 08-08-2026 | 2:50 PM

COLOMBO (News 1st) - හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 - 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය දීර්ඝ කරමිනි.

කාලගුණ අනාවැකියේ දැක්වුනේ මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා  මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වැඩි වැඩි වනු ඇති බවයි.

ඒ අනුව හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය යලිත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, නෝර්වුඩ්, අඹගමුව සහ තලවාකැලේ ප්‍රදේශ සඳහා අවදානයෙන් සිටින ලෙස නිවේදනය කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, උඩපළාත, පන්විල, දොළුව සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, අරණායක, දෙහිඕවිට, යටියන්තොට සහ දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඕපනායක සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා විමසිලිමත් වන්නැයි නිවේදනය කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.