බැංකු නිලධාරීන් සිව් දෙනෙක් රිමාන්ඩ්

ඩොලර් බිලියනයකට ආසන්න මුදල් නීති විරෝධීව රටින් පිට කිරීමට හවුල් බැංකු නිලධාරීන් සිව් දෙනෙක් රිමාන්ඩ්

by Chathurika Jayasundara 17-08-2026 | 10:38 PM

COLOMBO(News1st) - ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, ඩොලර් බිලියනකට ආසන්න මුදලක් විදෙස් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ, ඔවුන් අද(17) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස විදෙස් ගත කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ අද දහවල් කාලයේදීයි.

අත්අඩංගුවට ගත් එක් පෞද්ගලික බැංකු ශාඛා කළමනාකාරවරයෙකු වංචනික ලෙස විදෙස් ගත කර ඇති මුදල ඩොලර් මිලියන 5.5ක්.

විමර්ශනවලට අනුව, තවත් පෞද්ගලික බැංකුවක වෙළඳ ප්‍රවර්ධන කළමනාකාරවරයෙකු ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හෙවත් විද්‍යුත් මුදල් හුවමාරුව අවස්ථා 25කදී සිදුකර, විදෙස් ගතකර ඇති මුදල ඩොලර් 6 ලක්ෂ 47,207ක් බවට අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් තවත් පෞද්ගලික බැංකුවක විධායක නිලධාරීවරයෙකු විද්‍යුත් මුදල් හුවමාරුවෙන් අවස්ථා 1,067ක් සිදුකර ඇතැයි විමර්ශනයේදී හෙළි වී තිබේ.

එමගින් විදෙස් ගත කර ඇති මුදල ඩොලර් මිලියන 24.6ක්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර විධායක නිලධාරියා විද්‍යුත් මුදල් හුවමාරුවෙන් අවස්ථා 943 කදී විදෙස් ගතකර ඇති මුදල ඩොලර් මිලියන 32ක් බවට විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන් මහ බැංකුව නිකුත් කර ඇති නීති සහ රෙගුලාසී වලින් බැහැරව කටයුතු කර තිබේ.

පොලීසිය පවසන්නේ, ඒ සඳහා සැකකරුවන්ට මූල්‍ය ප්‍රතිලාභ හිමිව ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

සැකකරුවන් විසින් රේගු වාර්තා ඇතුළු ලේඛණ ව්‍යාජ ලෙස සකසා ඇති බවටත් කරුණු අනාවරණ වී තිබේ.

විමර්ශන මෙහෙයවන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ, ඔවුන් ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් තවත් පිරිසකට පුහුණු කිරීම් ද සිදුකර ඇති බවයි.

මේ අතර, අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකාර ජිෆ්රි මොහොමඩ් නමැත්තා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

ඒ , සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට පසුගිය 06 වැනිදා ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් විදේශ රටවලට යැවු බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු පසුගිය ජුනි 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.