පාතාලයේ "බස් ලලිත්" මෙරටට රැගෙන එයි...

ඩුබායි රාජයේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කංන්නගර නොහොත් බස් ලලිත් නැමැත්තා මෙරටට රැගෙන එයි...

by Staff writer 25-08-2026 | 9:20 AM

COLOMBO(News1st) - ඩුබායි රාජයේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කංන්නගර නොහොත් බස් ලලිත් නැමැත්තා අද(25) අළුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.

ඒ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙයෙුමකිනි.

බස් ලලිත් නැමැත්තා, අත්අඩංගුවට ගනු ලැබු‍වේ, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී.

ඔහුගේ සමීපතමයෙකු මෙරටදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළිකරගත් තොරතුරු මත ඩුබායි හී මහල් නිවාස සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට ගැනුණි.

ඩුබායි වෙත ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව බස් ලලිත් නැමැත්තා මෙරටට රැගෙන ඒමට උත්සහ කළද, ඔහු ඊට එරෙහිව එරට අධිකරණ හමුවේ නඩු පැවරිය.

එහි තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කරමින් ඩුබායි අධිකරණයක් නියෝග කළේ, සැකකරු පිටුවහල් කරන ලෙසයි.

පොලීසිය පැවසුවේ, බස් ලලිත් නැමැත්තා, මෙරට සිදුවූ පුද්ගල ඝාතන රැසකට, කප්පම් ගැනීම සහ මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු බවයි.

මේ අතර රංජිත් කුමාර දිසානායක හෙවත් කොන්ඩ රංජි නැමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු 04 දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඉදිරියේදී මෙරටට රැගෙන එන බවද පොලීසිය සඳහන් කළේ ය.