.webp)

සලේට මීට පෙර ලබාදී තිබූ දින 90ක රැඳවුම් නියෝග අදින් අවසන්වීමට නියමිතව තිබිණි.
278 දෙනෙකු ඝාතනය කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශවලදී හෙලිවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණයට වාර්තා කර තිබේ.
එවක යුද හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස, පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හසීම් ප්රමුඛ කල්ලිය සමග සෘජු සබදතා පවත්වාගෙන යමින් එම කල්ලිය විමර්ශන කණ්ඩායම්වලට අනාවරණයවීම වැළැක්වීම සඳහා සෘජුව මැදිහත්ව ක්‍රියා කිරීම පිළිබඳව සලේට විමර්ශනවලදී චෝදනා එල්ලවී තිබේ.
ප්‍රහාරය සඳහා අවශ්‍ය තොරතුරු රැස්කිරීමේදී සහ ප්‍රහාරය එල්ල කළ දිනයේ සිදුවීම් ඔස්සේ සහරාන් හසීම්ගේ කල්ලිය සමග සුරේෂ් සලේ පැවැත්වූ සබඳතා මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාකළ විමර්ශන වාර්තාවල සඳහන්.
විමර්ශනවලදී අනාවරණයවූ තොරතුරු මත සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් අතර පසුව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේ ය.
මෙම විමර්ශනයට අදාළව පසුව අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පැනවීමට පියවර ගත්තේ පසුගිය ජුනි මස තුන්වනදායි.
ඉන් දින දෙකකට පසුව සුරේෂ් සලේ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර ජුනි 7 වැනිදා ඔහු රෝහල් ගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.
එතැන් සිට මේ දක්වා සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැකවරණ යටතේ කොළඹ ජාතික රෝහලේ රැදී සිටී.
