CIA ප්‍රධානියා මොස්කව් නුවර රහස් සාකච්ඡාවක..

CIA ප්‍රධානියා මොස්කව් නුවර රහස් සාකච්ඡාවක..

by Staff writer 26-08-2026 | 10:08 AM

COLOMBO (News 1st) - ඇමරිකාවේ CIA හෙවත් මධ්‍යම බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් කිසියම් සාකච්ඡාවක් සඳහා රුසියාවේ මොස්කව් නුවරට පැමිණ තිබේ.

ඇමරිකානු හමුදා ගුවන් යානයක් ඊයේ (25) පෙරවරුවේ මොස්කව් නුවර නුකෝවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බවට ගුවන් රේඩාර් දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ ය.

ඇමරිකානු හමුදාවේ "C-17 Globemaster" වර්ගයේ අදාළ ගුවන් යානය ඇමරිකාවේ සිට ලැට්වියාව දක්වාත් පසුව ලැට්වියාවේ සිට රුසියාවටත් ඇතුළු වූ බව වාර්තා විය.

විශ්ලේෂකයින් මුලින් විශ්වාස කළේ, සිරකරුවන් හුවමාරුවක් හෝ කිසියම් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී හුවමාරුවක් වෙනුවෙන් ඇමරිකාව අදාළ ගුවන් යානය රුසියාව බලා පිටත් කර ඇති බවයි.

කෙසේනමුත් එම ගුවන් යානයේ පැමිණ ඇත්තේ CIA ප්‍රධානියා බව ඇමරිකාවේ ඇක්සියෝස් සහ CBS පුවත් සේවය සිය ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

මේ පිළිබඳව මෙතෙක් රුසියාව හෝ අමෙරිකාව නිල නිවේදන නිකුත් කර නොමැති අතර ඔහු හමුවී ඇත්තේ කවුරුන්දැයි යන්න පිළිබඳව කිසිදු නිල තොරතුරක් වාර්තා වන්නේ නැහැ..

CIA ප්‍රධානියා රුසියාවට පැමිණ ඇත්තේ ඇමරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පනවා ඉරානයට සහය දෙන රටවලටද අනතුරු අඟවා ඇති පසුබිමකයි.

මේ අතර මෙම සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවල රුසියාවේ මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ආශ්‍රිතව ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇමරිකාව දින කිහිපයකට පෙර යුක්‍රෝනයට දැනුම් දී තිබූ බවත් ෆයිනෑන්ශල් ටයිම්ස් වර්තාවක දැක්වේ.

මීට පෙර CIA ප්‍රධානියෙකු රුසියාවට පැමිණ තිබුනේ 2021 වසරේදී.

ඉන් මාස තුනකට පසු රුසියාව යුක්‍රෝනයට එරෙහි ආක්‍රමණය දියත් කළේ ය.