නාමල්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

නාමල්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

by Staff writer 02-09-2026 | 3:00 PM

COLOMBO(News1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිද්දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බව, නීතිඥ මුදිත ආර්.ලොකුමුදලි පවසයි.

ඔහු සදහන් කළේ, අනිද්දා උදෑසන 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, අල්ලස් කොමිසම ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඊට සිය සේවාදායකයා එකඟතාව පළ කළ බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අනිද්දා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, පසුගිය සඳුදා පළමුව දැනුම් දී තිබුණි.

ඊට ප්‍රතිචාර දැක්වූ නාමල් රාජපක්ෂ, අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිම සදහා හෙට පැමිණිය හැකි බවට දැනුම් දී තිබේ.

එහෙත් ඊට පසුදින එනම් ඊයේ ඔහු සිය නීතිඥ මුදිත ආර් ලොකුමුදලි මගින් ලිපියකින් දැනුම් දී ඇත්තේ, ලබන 25 වැනිදා හෝ ඊට පසු අල්ලස් කොමිසමේ පෙනී සිටිය හැකි බවයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, අල්ලස් කොමිසම වට්ස්ඇප් මගින් ලිපියකින්, අනිද්දා කොමිසමේ හමුවේ පෙනී සිටිය යුතු බවට දැනුම් දී ඇතැයි, නීතිඥ මුදිත ආර් ලොකුමුදලි පැවසීය.

ඔහු සදහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බද සහිත ගුවන් යානා බලඇණියන් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව බවයි.