කුරුණෑගල අනවසර ඉදිකිරීම් ගැන අනාවරණයක්

මහ ජල කඳට හසුවී අවසන් ගමන් ගිය දරුවාගේ සිද්ධිය ගැන කුරුණෑගල නගර සභාවෙන් මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කෙරේ..

by Staff writer 13-09-2022 | 7:22 PM

COLOMBO (News 1st) – කුරුණෑගල නගරය ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් පවතින බවට නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන අද(13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගත්තේ ය.

පසුගියදා ඇල මාර්ගයකට ඇඳ වැටී දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන විමර්ශනවලට අදාළව කුරුණෑගල නගර සභාව ඇතුළු ආයතන කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණි. 

එහිදී මෙම කරුණු අනාවරණ වී ඇති අතර, අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද, හෙළිවූ බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

ඇතැම් ස්ථානවල පාලනය සම්බන්ධයෙන් ඒ, ඒ ආයතනවලට ගැටලුකාරී තත්ත්වයක් ඇතිව ඇතැයි ද, මානව හිමිකම් කොමිසමේදී අනාවරණ වී තිබේ. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැවසුවේ, අදාළ විමර්ශනයට කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවා තිබූ බවයි.

එම නිලධාරීන් අතුරින් කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා පමණක් කොමිසම හමුවට පැමිණ සිටි අතර, සෙසු නිලධාරීන් වෙනුවෙන් බලය පවරන ලද නියෝජිතයින් අද කොමිසම හමුවේ පෙනී සිටි බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.