.webp)
ඒ, වත්මන් ක්‍රිකට් පිටිය තුළ නම් දරා සිටින ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 6කින් ජය ගනිමිනි.
ලෝක ශූරයින් තීරණය වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ආරම්භ වුණේ ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්රීඩාංගණයේදීයි.
ඒ, එක්ලක්ෂ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙනි.
අද තරගයේ සමාරම්භය ගුවන් යානා සංදර්ශනයකින් වර්ණවත් විය.
තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව රෝහිත් ශර්මා සමග ශුබ්මන් ගිල් ඉන්දීය ඉනිම ආරම්භ කළේ ය.
පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 4කට දැවී ගියේ ය.
නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළේ ය.
ඔහු දැවී ගියේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේයි.
ශ්‍රෙයාස් අයියර් ලකුණු 4යි.
විරාත් කෝලි ලකුණු 54ක් රැස් කර තිබේ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලෝකේෂ් රාහුල් ලකුණු 66යි.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවා ගත්තේ ය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240කි.
ඉන්දීය ඉනිම අතරතුර කිසියම් පුද්ගලයෙක් ක්‍රීඩා පිටිය තුළට ඇතුල් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ආරක්ෂක අංශ එක්ව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහුගේ කමිසයේ පලස්තීනයට සහය පළ කරමින් සටහනක් දැක්වුණි.
මේ වනවිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිමට පෙර ගායන සහ නර්තනාංගවලින් අවසන් මහා තරග රාත්‍රිය වර්ණවත් විය.
ලකුණු 241ක ඉලක්කයකින් ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ්.
වෝනර් ලකුණු 7කට පිටියෙන් ඉවත් වුණි.
මිචෙල් මාෂ් ලකුණු 15කට දැවී ගිය අතර ස්ටීවන් ස්මිත්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි.
තුන්වැනි කඩුල්ලට එක්වූ ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලැබුෂේන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් එක්දින පිටියේ පස්වැනි ශතකය රැස් කළේ ය.
ඔහු ලකුණු 137ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් පමණක් අවශ්‍ය මොහොතේදීයි.
ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකාගාරය නිහඬව බලා සිටියදී ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 2 සම්පූර්ණ කරමින් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දුන්නේ ය.
1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියා අද විජයග්‍රාහී 6වැනි ලෝක කුසලානය තමන් සතු කර ගෙන තිබේ.
පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ඔස්ට්‍රේලියාව එකම වසරක් තුළ ලෝක ටෙස්ට් කිරුළ සහ එක්දින ක්‍රිකට් කුසලානය යන දෙකම දිනා ගැනීම විශේෂතවයකි.
එම අවසන් මහා තරග ද්විත්වයේම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේද ඉන්දියාවයි.