ක්‍රිකට් කණ්ඩායම ජාතියට අපිරිමිත ආඩම්බරයක් ගෙනාවා

ක්‍රිකට් කණ්ඩායම ජාතියට අපිරිමිත ආඩම්බරයක් ගෙන දුන්නා - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

by Staff writer 20-11-2023 | 4:28 PM

COLOMBO (News1st) :  තමන් ඇතුළු ඉන්දීය ජනතාව සැමදා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. 

ඔස්ට්‍රේිලියාව සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව පරාජය වීමෙන්  පසු  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ,   ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඉන්දීය කණ්ඩායමේ අධිෂ්ඨානශීලිත්වය සහ දක්ෂතාව කැපී පෙනෙන මට්ටමක පැවති බවයි. 

කණ්ඩායම සුවිශේෂි ආත්මාභිමානයකින් ක්‍රීඩා කර ජාතියට අපිරිමිත ආඩම්බරයක් ගෙන දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 6කින් ජය ගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යළිත් සනාථ කරමින් 6 වැනි වරටත් ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ  පැවැත්වුණේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

ඒ, එක්ලක්ෂ තිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙනි. 

1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියාව විජයග්‍රාහී 6වැනි ලෝක කුසලානය තමන් සතු කර ගෙන තිබේ.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ඔස්ට්‍රේලියාව එකම වසරක් තුළ ලෝක ටෙස්ට් කිරුළ සහ එක්දින ක්‍රිකට් කුසලානය යන දෙකම දිනා ගැනීම විශේෂතවයකි.

එම අවසන් මහා තරග ද්විත්වයේම ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූයේද ඉන්දියාවයි.