ජනපති හා සෞදි ආර්ථික - සැලසුම් ඇමති අතර හමුවක්

ජනපති හා සෞදි ආර්ථික - සැලසුම් ඇමති අතර හමුවක්

by Staff writer 28-11-2023 | 6:08 AM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

හමුව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එහිදී සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසුවේ, ඇගලුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව සඳහන් කළේ ය.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේ ය.

තවද සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද අමත්‍යවරයා දැනුවත් කළේ ය.