ජනපති ජපාන අගමැති හමුවෙයි..

ජනපති ජපාන අගමැති හමුවෙයි...ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජපානය දෙන සහායට ජනපතිගෙන් තුති

by Staff writer 25-05-2023 | 4:22 PM

COLOMBO (News 1st) – ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී තිබේ. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව ජනාධිපතිවරයා එහිදි සිය ප්‍රසාදය පල කළ බවයි. 

රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන - ශ්‍රී ලංකා සංගමය සමග ටෝකියෝ නුවරදී උදෑසන භෝජන සංග්‍රහයකට ද සහභාගිවී තිබේ. 

මේ අතර , ටෝකියෝහි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ නිකේයි සංසද දේශනය ද ජනාධිපතිවරයා සිදු කළේ ය. 

එහිදි ඔහු අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාබද්ධතාවය ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග බවයි. 

මෙම නිල සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන මහත්වරුන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.