ඉදිරි පැය කිහිපයේ තව තවත් චණ්ඩ වෙන 'බිපාර්ජෝයි'

ඉදිරි පැය කිහිපයේ තව තවත් චණ්ඩ වෙන 'බිපාර්ජෝයි'

by Staff writer 07-06-2023 | 5:37 PM

COLOMBO (News 1st) - ගිනිකොණ දිග අරාබි මුහුදේ හටගත් බිපාර්ජෝයි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ අංශ පවසයි. 

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, එම මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත වූ සියලුම මෙරට ධීවර යාත්‍රා මේ වන විට ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කර ඇති බවයි.

බිපාර්ජෝයි සුළි කුණාටුව මේ වසරේ අරාබි මුහුද ආශ්‍රිතව හටගත් පළමු සුළි කුණාටුවයි.

එය ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 


මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. 

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අඟලවත්ත, මතුගම සහ පාලින්දනුවර ප්‍රදේශවලට තවදුරටත් අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසී ය.