වෙඩි පහරකට හසු වූ දැරියගේ සිරුර සොයාගනී

වෙඩි පහරකට හසු වූ දැරියගේ සිරුර දින 12කට පසු සොයාගනී.. දැරියගේ දුරකතන හඬ පටයකුත් එළියට..

by Hashini De Mel 11-02-2024 | 5:47 PM

COLOMBO (News 1st) - පසුගියදා ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාරයකට හසුවූ  6 හැවිරිදි දැරියගේ සිරුර දින 12 කට පසු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

හින්ද් රාජාබ් නම් එම දැරියගේ සිරුර සොයාගෙන තිබෙන්නේ ඇයගේ ඥාතීන් විසිනි.

ඊශ්‍රායල යුද ටැංකියක් ගාසා තීරයේදී ඇයගේ පවුලේ සාමාජිකයින් ගමන් කළ මෝටර් රථය ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු කර තිබේ.

පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය (PRCS) සහ එම දැරියගේ පවුලේ ඥාතීන් සෙනසුරාදා තහවුරු කළේ, මෝටර් රථයේ සිටි පුද්ගලයින් හත් දෙනාම මිය ගිය බවයි.

පලස්තීන සහන සංවිධානය කියා සිටියේ, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන යූසුෆ් සෙයිනෝ සහ අහමඩ් අල්-මධූන් යන දෙදෙනා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි.

පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, දැරියගේ සිරුර , ඇගේ මාමා, නැන්දා සහ ඔවුන්ගේ දරු තිදෙනාගේ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් තාල් අල්-හවා උප නගරයේ වටරවුමක් අසළ තිබී සොයා ගත් බවයි. 

මිය ගිය දැරියගේ තවත් ඥාතියෙකු පැවසුවේ, මෝටර් රථය වෙඩි උණ්ඩවලින් පිරී ඇති බවයි.

මේ අතර මෙම මස මුලදී පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය විසින් ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකුට මියගිය දැරියගේ දුරකතන හඬ පටයක් හමුවී තිබේ.

එහිදී ඇගේ පවුලේ සියලුම සාමාජිකයින් ඇයට පෙර මරා දමා ඇති බවට ඇයව බියවද්දා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

"මට ගොඩක් බයයි, කරුණාකර එන්න. කරුණාකරලා කවුරු හරි කතා කරලා මාව එක්කන් යන්න එන්න” යැයි ඇය පවසා තිබේ.

ඊශ්‍රායල හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය පිළිබඳව තමන් නොදන්නා බවයි.