ඝාතනය කළ‍ ලාංකිකයින්ගේ අවසන් කටයුතු ගැන තීරණයක්..

කැනඩාවේදී සමූල ඝාතනය කළ‍ ලාංකිකයින් 6 දෙනාගේ අවසන් කටයුතු ගැන තීරණයක්..

by Staff writer 09-03-2024 | 2:28 PM

COLOMBO (News 1st) – කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබේ. 

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහරාධිකාරි පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමින් වහන්සේ, පැවසුවේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඝාතනයට ලක්වූ එම ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු කැනඩාවේදි සිදු කෙරෙන බවයි.

ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් එකඟතාව පලකර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළේ ය.

කෙසේ වෙතත් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කැනඩා පොලිසිය මගින් මෙතෙක් නිදහස් කර නැහැ.

කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු තියුණු ආයුධයකින් ඇණ ඝාතනයට ලක්ව තිබුණි.

කුඩා ළමුන් 4 ක් ඔවුන්ගේ මව සහ තවත් ශ්‍රී ලාංකිකයෙකු එලෙස ඝාතනයට ලක්විය

මියගිය දරුවන්ගේ පියා ද තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. 

ඝාතන සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ශ්‍රි ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහු එම නිවසේම රැඳී සිටි පුද්ගලයෙක් බවයි. 

අත්අඩංගුවට සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.