ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනා අදට වසර 10ක්!

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකාව 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 10ක්!

by Staff writer 06-04-2024 | 3:22 PM

COLOMBO (News 1st) - ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 10ක් සපිරෙනවා. 

එදා බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් මෙරට  ක්‍රිකට් ඉතිහාස පොතට ඓතිහාසික සටහනක් එක් කළා.

ඒ, 2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයයි.

මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සහ වේග පන්දුවෙන් ලොවම වසඟ කළ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකාව අතර මෙම තරගය කෙරෙහි ලොව පුරා ක්‍රිකට් ලෝලීන් දෙනෙත් යොමා බලා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රැසක් බිඳ නොවැටුණු නමුත්, විරාත් කෝලි හැරෙන්නට අන් සියලු පිතිකරුවන්ගේ වේගය අඩාල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් පියවර ගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 4ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 130ක් පමණයි. 

පළමු කඩුල්ල ලකුණු 5කදී බිඳ  වැටුණද තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නට හැකියාව ලැබුනේ නැහැ. 

කුමාර් සංගක්කාර පන්දු 35කින් නොදැවී රැස් කළ ලකුණු 52 ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය වෙත වේගයෙන් සමීප කළා.

සංගක්කාරගේ එම වේගවත් ගමනට තිසර පෙරේරා අවශ්‍යම මොහොතේ ශක්තිය එක් කළේ, පන්දු 14කින් නොදැවී ලකුණු 23ක් රැස් කරමින්.

පන්දුවාර 20කදී ඉන්දියාව ලබා දුන් ඉලක්කය පන්දුවාර 17යි පන්දු 5ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී ශ්‍රී  ලංකා කණ්ඩායම පසු කළා.

ඒ, දෙවැනි වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් වීමේ උද්දාමය සුවහසක් ශ්‍රී ලංකා වාසීන්ට උදා කරමින්.

එදා අර්ධ ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.