පොහොට්ටු දේශපාලන මණ්ඩලයෙන් තීරණයක්..

විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලයෙන් තීරණයක්..

by Staff writer 10-04-2024 | 5:56 AM

COLOMBO (News 1st) - පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීම් හා ගිවිසුම්වලට එළඹි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ (09) රැස්වූ දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා වූ බවයි.

ඒ අනුව එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට එරෙහිව ගත යුතු විනය පියවර සම්බන්ධයෙන් වාර්තාවක් දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස පක්ෂ විනය කමිටුවට දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පොදුජන පෙරමුණේ පුරප්පාඩුවී පවතින ආසන සංවිධායක ධුර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමට ද එහි දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.

ඒ, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට අනුවයි.

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් කාන්තා සංවිධායකවරියක් පත් කිරීමට ද දේශාපලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.