මියන්මාර ග්‍රහණයේ සිටි ලාංකිකයින් 8ක් අද දිවයිනට

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් 8ක් අද දිවයිනට

by Staff writer 18-04-2024 | 5:57 AM

COLOMBO (News 1st) - මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිත වේ.

ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිතය.

අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව අප මාස කිහිපයකට පෙර අනාවරණය කළෙමු.

මේ අතර මියන්මාර අත්අඩංගුවේ සිට පොදු සමාව හිමි වූ ලාංකික ධීවරයින් 15 දෙනා මේ මාසය තුළ දිවයිනට එවීමට හැකි බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර මියන්මාර අත්අඩංගුවේ සිට පොදු සමාව හිමි වූ ලාංකික ධීවරයින් 15 දෙනා මේ මාසය තුළ දිවයිනට එවීමට හැකි බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

එරට පොදු සමා දිනයට සමගාමීව ඔවුන්ට පොදු සමාව හිමි විය.

ඔවුන් මීගමුව ප්‍රදේශයෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් පිරිසකි.

නීති විරෝධී මසුන් ඇල්ලීම සහ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මියන්මාර් මුහුදු තීරයට ඇතුළ් වීම යන චෝදනා එල්ල වී නඩු අසා වැරදිකරුවන් වී අවුරුදු 7ක බර වැඩ සහිත සිර දඬුවමක් ඔවුන්ට නියම වී තිබුණි.