සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද සබරගමුව පළාතේදී

by Staff writer 14-05-2024 | 6:04 AM

COLOMBO (News 1st) - හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද (14) සබරගමුව පළාතේ ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ, එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම වර්ජනයට හේතුව බවය.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා සබරගමුව පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.

ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසදුම් දෙන බව පැවසුවත් එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා උතුරු මැද පළාතෙනි.

ඊයේ වර්ජනය මධ්‍යම පළාතේ ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ පසුගිය අප්‍රේල් මස 03 වෙන දා පැවැත් වූ සාකච්ඡාවේදී ඇති කර ගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධය පළ කරනු ඇත.

ඔවුන් පවසන්නේ, එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල කිහිපයක් ඉවත් කොට චක්‍රලේඛ නිකුත් කර ඇති බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලයන්, සෞඛ්‍ය කාර්ය සහයක කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කළමනාකරණ සහකාර කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය, ජීව වෛද්‍ය ඉංජිනේරු සියලු කාර්ය මණ්ඩලයන් ඇතුළු වෘත්තීය සංගම් 72කට අදාළ කාර්ය මණ්ඩලය එක්ව සිටි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහාය ලබා නොදෙන බවයි.