අමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ?

අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබා දීමට සැලසුම් කරන අමෙරිකානු ජනාධිපති..

by Staff writer 19-06-2024 | 10:49 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් , එරට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව , අමෙරිකානු පුරවැසියන් සමග විවාහ වී සිටින, එහෙත්, ලේඛනගත නොවූ පුද්ගලයින් ලක්ෂ 5කට පළමුව ස්ථිර පදිංචියත්, පසුව පුරවැසිභාවයත් හිමිවනු ඇත.

අමෙරිකානු පුරවැසියන්ගේ අවුරුදු 21 ට අඩු, පුරවැසියන් නොවන දරුවන් 50,000 කට ද නව සැලැස්ම යටතේ පුරවැසිභාවය ලබාදීමට නියමිතය.

වත්මනේ පවතින ක්‍රමවේදය අනුව, ලේඛනගත නොවූ සංක්‍රමණිකයින්, ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට නම් පළමුව ඔවුන් අමෙරිකාවේ සිට, සිය මව් රට බලා යා යුතුය. 

කෙසේ නමුත් යලි නීත්‍යනුකුල ලෙස ඔවුන්ට අමෙරිකාවට පැමිණීමට හැකි වේ ද නොවේ ද යන්න පිළිබඳව කිසිඳු සහතිකයක් නොලැබේ.

ජනාධිපතිවරයාගේ නව සැලැස්ම යටතේ පිටුවහල් වීමකින් තොරව, ආරක්ෂාකාරීව ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට එම අනවසර සංක්‍රමණිකයින්ට අවස්ථාව හිමිවන බව විදෙස් වාර්තා වල සදහන් වේ.