ලෙබනනය කළඹමින් සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි

ලෙබනනය කළඹමින් සන්නිවේදන උපකරණ රැසක් පුපුරා යයි.. පුද්ගලයින් 20ක් මරුට..

by Hashini De Mel 19-09-2024 | 10:51 AM

COLOMBO (News 1st) - ලෙබනනයේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම්වලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීම් හමුවේ පුද්ගලයින් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

හිස්බුල්ලා සංවිධානය භාවිත කළ වෝකි ටෝකි, පේජර්ස් සහ ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන උපකරණ මෙලෙස පුපුරා ගොස් ඇති බව සඳහන්ය.

පසුගිය අඟහරුවාදා දිනයේ ද ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින් භාවිත කළ පේජර්ස් පුපුරා යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

කෙසේ වෙතත්, මියගිය බොහෝ දෙනෙක් හිස්බුල්ලා සටන්කාමීන් නොව ෂියා ප්‍රජාවට සේවය කරන සිවිල් පුරවැසියන් බව ලෙබනන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තාවල දැක්වෙන්නේ, ලැප්ටොප්, වෝකි ටෝකි ඇතුළු ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන උපකරණ ලෙබනනයේ වෛද්‍යවරුන්, හෙදියන්, පුණ්‍යායතන සේවකයින්, ගුරුවරුන් සහ කාර්යාල පරිපාලකයින් ඇතුළු බොහෝ පිරිස් භාවිත කරන බවයි.

ප්‍රහාරයට ඊශ්‍රායලය වගකිව යුතු බවට ලෙබනනය ප්‍රකාශ කළත්, ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වා නැත.

හිස්බුල්ලා සාමාජිකයින් භාවිත කරන පේජර්ස් ඇතුළු සන්නිවේදන උපකරණ තුළ පුපුරණ ද්‍රව්‍ය අටවා එවා ඇත්තේ, ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසන්නේ, මෙම ප්‍රහාරයට එරෙහිව සිය සන්නද්ධ කණ්ඩායම් ප්‍රතිප්‍රහාර සඳහා සූදානම් කරන බවයි.