ඩෙංගු මර්දන වැඩසටහනට දායකවූවන්ට ජනපතිගේ ප්‍රසාදය

ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපතිගේ ප්‍රසාදය

by Staff writer 04-01-2024 | 6:46 AM

COLOMBO (News 1st) - බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) පැවති මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන කළේ, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින බව මෙහිදී සාකච්ඡා වූ බවයි.

රාජ්‍ය ආයතන, පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඊට සුදුසු නිලධාරීන් පත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩබලන පොලිස්තිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙර තිබේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.