T20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹේ..

T20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹේ: ශ්‍රී ලංකාවත් අද තරග බිමට..

by Staff writer 03-10-2024 | 8:25 AM

COLOMBO ( News 1st ) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) ආරම්භ වේ.

රටේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයම ආවරණය වන නාලිකාවකට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට මෙවර නැරඹිය හැකියි.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි.

එහි මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

අවස්ථා 6කදී ලෝක ශූරතාව දිනා සිටින ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග කරන්නේ A කාණ්ඩයෙනි.

බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදිනු ලැබේ.

බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය තරගාවලියේ පළමු තරගයට එක්වනු ඇති.

නිගාර් සුල්තානා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර කැත්රින් බ්‍රයිස් ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවයි.

ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත තරගය සාජාහිදි පැවැත්වේ.

චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ෆාතිමා සානා මෙහෙයවන පකිස්ථාන කණ්ඩායම් අතර අද දිනයේ දෙවැනි තරග‍ය පැවැත්වේ.


තමාට තරුණ කණ්ඩායමක් සිටින බවත් පසුගිය මාස කිහිපය තුළ දැක්වූ දක්ෂතා මෙම තරගාවලියේදිත් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු පැවසුවා ය.

දෙරට අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

TV1 නාලිකාව ඔස්සේ තරගාවලියේ සියලු තරග නැරඹීමට හැකියාව ඇත.