නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී.
ඊට අමතරව කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමේ පවතී.
කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ සහ පුටුපවුල ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් වාර්තා වී තිබේ.
දූනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇත.
බද්දේගමින් ගිං ගඟ ද, අවදානම් තත්ත්වයේ පවතී.
දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වේ.
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 18 795 කට අයත් පුද්ගලයින් 76 218 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
පවුල් 986 ක පුද්ගලයින් 3560 ක් ආරක්ෂිත ස්ථාන 38 රඳවා ඇති බව අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා සඳහන් කළේ ය.
වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 68 672 කි.
දිවයින පුරා අර්ධ නිවාස හානි 233 ක් වාර්තා වේ.
මේ අතර ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමේ සිට කඩවත දෙසට ඇතුලුවීමේ සහ පිටවීමේ පිවිසුම තවදුරටත් වාහන ධාවනය සඳහා විවෘත වන්නේ නැත.
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ද, ලුණුවිල දක්වා සීමා කර ඇත්තේ, තුම්මෝදර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ය.
මේ අතර ජනතාවට සහන සැළසීමට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක, ගංවතුර ආපදා සහන කණ්ඩායම් 6 ක් ස්ථානගත කර ඇතැයි නාවික හමුදාව පවසයි.
අවශ්‍යතාව මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානයේ අමතර ආපදා සහන කණ්ඩායම් 24 ක් සූදානම් ය.
ඊට අමතරව දකුණු නාවික විධානයේ 9 ක් සහ වයඹ නාවික විධානය තුළ 11 ක් වශයෙන් සූදානම් කර ඇති අමතර සහන කණ්ඩායම් සංඛ්‍යාව, 44 කි.
යුද හමුදා සහ ගුවන් හමුදා සහන කණ්ඩායම් ද ගංවතුර සහිත ප්‍රදේශ වලට අනුයුක්ත කර ඇත.
මේ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සළසන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
පීඩාවට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් වෙන් කර ඇති මුදල, රුපියල් මිලියන 50 ක් ය.
මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල, රාත්‍රියේ තැනින් තැන වැසි ඇති විය හැකිය.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි වේ.