CMG Cricket League 2024 ශූරතාවය Steinians දිනාගනී

CMG Cricket League 2024 ශූරතාවය Steinians කණ්ඩායම දිනාගනී...

by Staff writer 02-11-2024 | 8:55 PM

COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ ආයතන අතර සංවිධානය කළ CMG ක්‍රිකට් ලීග් 2024 තරගාවලිය අද (02) සාර්ථක ලෙස පැවැත්විය.

තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ නියෝජනය කළ ස්ටයිනියන්ස් කණ්ඩායමයි.

CMG ක්‍රිකට් ලීග් 2024 තරගාවලිය කොළඹ, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද පැවැත්විය.

තරගාවලිය සංවිධානය කළේ, සීමාසහිත කැපිටල් මහරාජා සමූහයට අයත් ආයතනවල කාර්ය මණ්ඩලයේ ක්‍රීඩා කුසලතා ඉහළ නැවීම සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණෙනි.

ඒ සඳහා සීමාසහිත කැපිටල් මහරාජා සමූහයට අයත් ආයතනවල කණ්ඩායම් 32ක් සහභාගී විය.

තරගාවලිය පැවැත්වුණේ ලීග් ක්‍රමයටයි.

ඒ අනුව, තරග 52ක් අවසානයේදී අවසන් මහා තරගයට රත්මලාන ස්ටයින් ස්ටුඩියෝහි ස්ටයිනියන්ස් කණ්ඩායම සහ දෙපානම මැදිරි සංකීර්ණය නියෝජනය කළ MBC ෆැල්කන්ස් කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තේ ය.

එම තරගය ජය ගත්තේ, දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශන කළ ස්ටයිනියන්ස් කණ්ඩායමයි.

සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ජය සංකේත ප්‍රදානය සිදු කළේය.

එම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් ද සහභාගී වූහ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ, ස්ටයිනියන්ස් කණ්ඩායමේ ලක්ෂිණ සසිඳු සිල්වායි.

CMG ක්‍රිකට් ලීග් 2024 අනු ශූරතාවය දිනා ගත්තේ MBC ෆැල්කන්ස් කණ්ඩායමයි.

ඒ අනුව, CMG  ක්‍රිකට් ලීග් 2024 ශූරතාවය දිනා ගත් රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස් නියෝජනය කළ ස්ටයිනියන්ස් කණ්ඩායම මෙවර ශෂී රාජමහේන්ද්‍රන් අභියෝගතා කුසලානය දිනා ගත්තේය.