ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ යළි වැඩි වීමක්..

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ යළි වැඩි වීමක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 08-12-2024 | 7:39 AM

COLOMBO (News 1st) - ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදේ පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ දිවයිනේ වයඹ සහ බටහිර දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය, ලබන 11 වැනිදා වන විට ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන්, නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා විය හැකියි.

එහි බලපෑමෙන්  අනිද්දා (10) සිට උතුරු - නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ද, ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති.

ඒ හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ට වැඩි වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජනතාවට දැනුම් දෙයි.