දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2-0 ලෙස දකුණු අප්‍රිකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්..

by Staff writer 09-12-2024 | 3:29 PM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි  දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 109කින් ජය ගත්තේ ය.

ශාන්ත ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 358ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලකුණු 328ක්.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 317කට සීමා වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කයක හඹා ගිය ශ්‍රී ලංකාව අවසන් දිනට අද තරගය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන සිටියේ ය.

කෙසේ නමුත් අද දිනයේදී ශ්‍රී ලංකා අවසන් කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 33කදීයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය.

නායක ධනංජය ද සිල්වා ලකුණු 50යි.

දකුණු අප්‍රිකාවේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ කේෂව් මහරාජ් ලකුණු 76ට කඩුලු 5යි.

පන්දුවාර 69යි එක් පන්දුවක් අවසානයේදී ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 238කට දැවී ගියේ ය.

ඒ අනුව 2ට 0ක් ලෙස තරගාවලිය ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබේ.