විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම 27සිට

විදුලිය ගාස්තු සංශෝධනය ගැන වාචික මහජන අදහස් විමසීම 27 වැනි දා සිට..

by Staff writer 21-12-2024 | 10:13 PM

COLOMBO (News1st) - විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පතට අදාළ වාචික මහජන අදහස් ලබා ගැනීම ලබන (27) වැනි දා සිට ආරම්භ වේ.

ඒ, පළාත් 09 කේන්ද්‍ර කරගනිමිනි.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, පළමු වාචික සැසිය මධ්‍යම පළාත වෙනුවෙන් මහනුවර දී පැවැත්වෙන බවයි.

ඊට 077-2943193 අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බව එම කොමිසම සඳහන් කළේ ය.

ලබන 31 වැනිදා ඌව පළාත වෙනුවෙන් මොණරාගල දී වාචික සැසි පැවැත්වීමට නියමිතයි.

සබරගමුව පළාත වෙනුවෙන් රත්නපුරදී සැසිය පැවැත්වෙන්නේ ජනවාරි 03 වැනි දාය.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ, දකුණු පළාත් සැසිය සහ වයඹ පළාත් සැසිය ලබන 04 වැනි දා මාතරදී සහ කුරුණෑගල දී පැවැත්වෙන බවයි.

ජනවාරි 05 වැනි දා උතුරු මැද පළාත් සැසිය අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත වේ.

උතුරු පළාත් සැසිය යාපනයේ දී පැවැත්වෙන්නේ, ලබන 06 වැනි දායි.

ජනවාරි 08 වැනි දා නැගෙනහිර පලාත් සැසිය මඩකලපුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

බස්නාහිර පළාත් සැසිය ජනවාරි 10 වැනි දා කොළඹදී පැවැත්වේ.

මහජන උපයෝගීතා කොමිසම සිය ප්‍රතියෝජනා කෙටුම්පත ඉදිරිපත් කරමින් පැවසුවේ, පවතින තත්ත්වය තුළ විදුලිය ගාස්තු 11% කින් පමණ අඩුකළ හැකි බවයි.

කෙසේ වෙතත්, 2025 වර්ෂයේ මුල් මාස 06 සඳහා පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව පවත්වා ගැනීමට විදුලිබල මණ්ඩලය මේ වනවිට යෝජනා කර තිබේ.