මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 26-12-2024 | 10:52 PM

COLOMBO (News 1st) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිංග් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.  

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස, අවුරුදු 92කි.

හිටපු අග්‍රාමාත්‍යවරයා සිය නිවසේදී රෝගී වූ බවත්, පසුව ඔහු රෝහල්ගත කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.  

ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය නිවේදනය කළේ, ඉන් පැය දෙකකට පමණ පසු ඔහු රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි.

1991 වසරේදී එවක රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල මන් මෝහන් සිංග්, බංකොලොත් භාවයේ අද්දර සිට ඉන්දියාව, ඉන් ගලවාගත් ආර්ථික ප්‍රතිසංස්කරණවල, නිර්මාණකරුවා ලෙස සැලකෙයි.

ඔහු ගත් එම තීරණ, ඉන්දියාවේ ආර්ථික ගමන් මඟ වෙනස් කළ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ඉන් පසුව, 2004 වසරේ සිට 2014 වසර  දක්වා, මන් මෝහන් සින්ග් මහතා, ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ, එක්සත් ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කළේ ය.

ජවහර් ලාල් නේරු තුමන්ගෙන් පසු, අඛණ්ඩව දෙවරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පළමු පුද්ගලයා ලෙස මන් මෝහන් සිංග් සැලකෙයි.  

ඔහුගේ පළමු ධුර කාලය ඉන්දීය ජනතාව අතර දැඩි ප්‍රශංසාවට ලක්වුවද, දෙවැනි ධුර කාලයේදී කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ රජයේ සිදුවූ ඇතැම් සිදුවීම් හේතුවෙන් මන් මෝහන් සිංග්ද විවේචනයට ලක්විය.

භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදී, නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වෙන්නේ ඉන් අනතුරුවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන්, සටහනක් තබමින් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සඳහන් කළේ, තමන් ගුජරාත් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, හිටපු අග්‍රාමාත්‍යවරයා සමග ඉතා සමීපව කටයුතු කිරීමට අවස්ථාව හිමිවූ බවයි.

සංවේදී සටහනක් තබමින් විපක්ෂ නායක රාහුල් ගාන්ධි සඳහන් කළේ, ඔහුගේ සමීපතම උපදේශකයා තමන්ට අහිමි වූ බවයි.

මන් මෝහන් සිංග් දියණියන් තුන් දෙනෙකුගේ පියෙකි.