ගම්මැද්ද ගෙයින් ගෙට 8 වැනි අදියර හෙටින් ඇරඹේ...

ගමේ ගැටලු සොයා ගම්මැද්ද ගෙයින් ගෙට 8 වැනි අදියර හෙටින් ඇරඹේ...

by Staff writer 08-01-2025 | 3:10 PM

COLOMBO (News1st) - ගම්මැද්ද  ගෙයින් ගෙට නැවතත් හෙට(09) සිට ඇරඹෙන්නේ දශකයකට අධික යුග මෙහෙවර තවත් පුළුල් කරමිනි.

පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ගෙයින් ගෙට වැඩසටහන යනු, ගම්මැද්ද වාර්ෂික වැඩපිළිවෙළේ මූලික අදියරයි.

සෑම වසරකම පැවැත්වෙන ගෙයින් ගෙට ක්‍රියාන්විතයෙන් සිදුවන්නේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම විවිධ ප්‍රදේශවල ජනතාව සමීපයටම ගොස් තොරතුරු විමසමින් ඔවුන්ගේ ප්‍රශ්න විධිමත් ක්‍රමවේදයකට අනුව හඳුනාගැනීමයි.

ඒ සඳහා හෙට සිට ගම්මැද්ද කණ්ඩායම් ජනතාවට සවන් දෙමින් ගමින් ගමට පැමිණීමට නියමිතය.

ගමට වැඩ කරමින් නගරයටත් සෙත සැලසූ ගම්මැද්ද, මිනිසුන් වෙනුවෙන් කැප වූ ක්‍රියාන්විතයක් ලෙස අද ජාත්‍යන්තර ප්‍රසාදය දිනා සිටි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සහයද ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම්වලට ලැබෙන්නේ සුපුරුදු ආකාරයෙනි.

මෙවරද ඔවුන් ඊට එක්ව සිටින්නේ, යාවත්කාලීන තොරතුරු ඇතුළත් ගම්මැද්ද වාර්ෂික වාර්තාව සම්පාදනය කිරීමේ අභිලාෂයෙනි.

2025 වසරේ ගම්මැද්ද සුවිශේෂ කාර්යභාරය වන ගෙයින් ගෙට 08 වැනි අදියරේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ කැපිටල් මහරාජා සමූහයේ සභාපති සෂී රාජමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගම්මැද්ද මහලේකම් කාර්යාලය මේ උත්සවය සංවිධානය කළේ ය.

කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ශ්‍රීනිවාසන් මහතා සහ සමූහ අධ්‍යක්ෂ-ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල්, මහතා ඇතුළු උසස් නිලධාරීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම උත්සවයෙන් පසුව විශේෂ වැඩමුළුවක් ද පැවැත්වුණේ හෙට සිට ජනතාව හමුවන කණ්ඩායම්වලට අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය කරමිනි.